PCR වාර්තා පිළුණු වෙලා  කොරෝනා ඉහළ යයි. 

දිනය පෙබරවාරි 02 දාය. ස්ථානය අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වල්පොල නාගවනාරාම විහාරස්ථානයයි. මෙදින විහාරස්ථානයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විශේෂ කටයුත්තකට සුදානම් වෙමින් සිටියහ. ඒ නිරෝධායන ක්‍රියාවලියේ සිටි පුද්ගලයින්ට PCR පරීක්ෂණ කිරීමටය.

ජනවාරි 17 දා සිට  නිරෝධායනයට ලක් වූ පුද්ගලයෙකුද මේ අතර විය. ඔහුව නිරෝධායනයට ලක් කර තිබුණේ කොවිඩ් පොසිටිව් රෝගියෙකු ඇසුරු කිරීමේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම නිසාය. මොහුගේ නිරෝධායන කාලය අවසන් වීමට තිබුණේ පෙබරවාරි 04 දාය. පෙබරවාරි 02 දින ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත මොහු වල්පොල විහාරස්ථානයේදී සිදු කෙරෙන PCR පරීක්ෂණ සඳහා සහභාගි වුයේ තවත් නිරෝධායනයට ලක් කර තිබූ මිතුරන් සිව් දෙනෙකු සමඟිනි.

දියවැඩියාව හා කොලොස්ටරෝල් රෝග වලින් පීඩා විඳි මෙම පුද්ගලයා කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් විය. පෙබරවාරි 02 දා PCR පරීක්ෂණය සිදු කර නිවසට පැමිණ සෞඛ්‍යාරක්ෂිතව කල් ගෙවූ මොහුගේ නිරෝධායන කාලය පෙබරවාරි 04 දා අවසන් විය. එහෙත් මොහුට රැකියාවට යාමට නොහැකි විය. ඒ රැකියා ස්ථානයෙන් PCR වාර්තාව ඉල්ලා සිටීම නිසාවෙනි. PCR පරික්ෂණ වාර්තාව දින තුනකින් පැමිණෙනවා කියුවත් අද (08) වන විටත් තවමත් ලැබි නැත. අදට දින හයක් ගතව ඇත.

ඔහු ඇතුලු 02 දා PCR පරීක්ෂාව සිදුකළ සියලු දෙනා තවමත් මඟ බලා සිටින්නේ තමන්ගේ වාර්තාව පැමිණෙන තුරුය. මෙය එක්තරා ආකාරයකින් එම පිරිසව පීඩනයට ලක් කිරීමක් වන්නකි. ඔවුන් පවසන්නේ තමන් පොසිටිව් හෝ නෙගටිව් බව පැවසුවා නම් සිත හදාගෙන ඉදිරි වැඩ කටයුතු කළ හැකි බවය. නමුත් වාර්තා ප්‍රමාද වීම මත සිදුවන්නේ දරුවන් ඇතුලු පවුලේ සියලු දෙනා අවදානමකට ලක් වීමක් බවද ඔහු පෙන්වා දෙයි.

මේ පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධව ඔහු ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් විමසා ඇති  අතර එහිදි ඔහු පවසා ඇත්තේ දැන් මොහුගේ නිරෝධායන කාලය අවසන් බැවින් මොවුන් පිලිබඳ වගකීමක් ඔවුන්ට නැති බවත් කැමතිනම් රැකියාවට යන ලෙසත්ය. නමුත් නිරෝධායන සහතිකය දෙනු ලබන්නේ PCR වාර්තා ලැබීමෙන් පසුව බවත් දන්වා ඇත.

මේ අපට සමාජයෙන් අසන්නට ලැබුණු එක් සිද්ධියක් පමණි. PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලැබෙනතුරු බලා සිටිමට මේ වන විට බොහෝ දෙනෙකුට සිදුව ඇත. මේ ප්‍රතිඵල  ප්‍රමාද වීම් ගැන පාර්ලිමේන්තුවේද පහුගියදා කථාබහට ලක් විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නිසාය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද කොවිඩ් ආසාදිත බව දැන ගනු ලැබුයේ පරික්ෂණය කර දින අටකට පසුවය. ඒ වන විට ඔහු නිරෝධායන කටයුතු අවසන් කර දෛනික ක්‍රියාවලියේද නිරතව ඇත්තේ දින තුනක් තුල ප්‍රතිඵල නොලැබීම නිසාය. මන්ද රජය, සෞඛ්‍ය අංශ මාධ්‍ය මඟින් වාර්තා කර සිටින්නේ PCR පරීක්ෂණ වාර්තාවක් පැය 48 ක් තුල ලබා දෙන බවටය. පොසිටිව් නම් දුරකථන ඇමතුමක් මඟින් ඒ බව දැනුම් දෙනු ලබයි. මේ කිසිඳු ක්‍රියාවලියක් නොවු නිසා මන්ත්‍රීවරයා සිතුවේ ඔහු නෙගටිව් බවය. නමුත් දින අටකට පසු ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කරමින් පරික්ෂණ වාර්තා පැමිණියේය.

ප්‍රතිඵල ප්‍රමාද වීම

මෙය අප සුලු සිද්ධියක් ලෙස මුලින් සිතුවද මේ වන විට එය ඉතාම සංකීර්ණ ගැටලුවක් බවට පත් වෙමින් ඇත්තේය. දැන් දැන් පරීක්ෂණ වාර්තා ඒමට අවම වශයෙන් දින 05 ක් වත් ගත වේ. ඇතැම් විට දින 12 -14 ගත වෙන අවස්ථාද වාර්තා වේ. ඇතැම් විට ඒ වන විට ඒ පුද්ගලයාට රෝගය වැළඳි සුව වීමට පවා ඉඩ ඇත.

මේ පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ ලැබෙමින් පවතින PCR පරීක්ෂණ සාම්පල ඉහළ යාම නිසා පරීක්ෂා කිරිමේ තදබදයක් ඇතිව තිබෙන බවය. එමෙන්ම ඇතැම් සාම්පල රසායනාගාර වලදි අස්ථාන ගත වෙන බවය.

මේ වන විට දිනකට PCR පරීක්ෂණ 17000 ක් පමණ සිදු කරන අතර ඒ් සියල්ල රසායනාගරයට ලැබුණු විට පරික්ෂා කිරිමට කාලය ගත වෙන බව පැවසේ.

කටුනායක PCR පුද්ගලික සමාගමකට

මේ අතර හෙළි වුයේ මෙතෙක් කලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තෙටෙුපලේ සිදු කළ PCR පරීක්ෂණ දැන් සිදු නොවන බවය. එහි PCR යන්ත්‍ර 03 ක් තිබි ඇති අතර ගුවන්තොටුපල භාරව ප්‍රබල දේශපාලඥයෙකුගේ මාමණ්ඩියක විධායක අධ්‍යක්ෂක ධුරයට පත් වීමත් සමඟ එම යන්ත්‍ර වලට විවේක ලැබී ඇත. ඒ PCR කටයුතු කළ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කිරිම නිසාය.

එමෙන්ම මෙම නිලධාරියා පැමිණි පසු ගුවන්තොටුපලේ සියලු කාර්ය මණ්ඩලයට PCR කිරීම අනිවාර්ය කෙරුණි. ඒ සියල්ල සිදු කෙරුණේ ප්‍රමුඛ පෙලේ පුද්ගලික සමාගමක් විසිනි. එමෙන්ම අලුයම ගුවන්තොටට පැමිණෙන ගුවන් මඟින් කෙලින්ම යොමු කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලටය. එහිදී ඔවුන් කැමතිනම් පුද්ගලිකව හෝ නැතිනම් නිරෝධායන මධ්‍යස්ථානය පිහිටා ඇති ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් PCR පරීක්ෂාව සිදු කරනු ලබයි. දහවල පැමිණෙන මඟින් ගුවන්තොටුපලේදීම මුදල් ගෙවා PCR පරීක්ෂාව සිදු කර ගනු ලබයි. ඒ පුද්ගලික සමාගමක අනුග්‍රාහයෙනි.

සාම්පල අස්ථානගත වීම

මේ අතර පුද්ගලයින්ගෙන් ලබා ගන්නා PCR පරීක්ෂණ සාම්පල අස්ථාන ගත වෙන බවටද වාර්තා වී ඇත. එක් පුද්ගලයෙක් වෙනුවෙන් මේ සඳහා රුපියල් 4000- 7000 ත් අතර මුදලක් වියදම් වේ. නමුත් ඒ් සාම්පල අස්ථාන ගත වීම් මඟින් දෙවැනි වරට නැවත PCR පරීක්ෂණ කිරිමට සිදු වීමෙන් පාඩු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයටමය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොවිඩ් පළමු රැල්ලේ සිටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේ විධිමත්ව PCR පරීක්ෂණ සිදු කළ යුතු බවය. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම ගැන මෙන්ම වාර්තා ප්‍රමාද වීම් ගැනද ඔවුන් කථා කළේය.  ඔවුන් කියා තිබුණේ පැය 48ටත් වඩා ප්‍රමාද වී ලැබෙන PCR ප්‍රතිඵල නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි PCR ප්‍රතිඵලයක් ලෙස සැළකීමට සිදුවෙනවා,” යනුවෙනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ද මේ PCR ක්‍රියාවලිය සම්බන්ධ වගකීමක් අවශ්‍ය බවය.

මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ රසායනාගාර වාර්තා ලබා දීමට ලබාදුන් ඇතැම් PCR පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් වාර්තා වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විදිමත්ව හා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි යන්න අවධාරණය කරනවා යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ශානි

Social Sharing
නවතම