බන්දුලගේ බඩු මිල හා ජනතාව ගසා කෑම

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ අද (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතය.

ජනාධිපතිවරයා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව රතු කැකුලු , සුදු කැකුලු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළුෑණු, අර්තාපල්, කඩල, වියළි මිරිස්, ටින් මාලු, හාල් මැස්සන්, කුකුලු මස්, ලුණු, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, බාර් සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුඛ ආවරණ යන ආදිය වල මෙසේ මිල අඩු කර ඇත.

වෙළඳ අමාත්‍යවරයා මෙසේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු කරමින් එහි විවිෘත වෙළඳපොල වටිනාකම හා සතොස මඟින් ලබා දෙන මිල පිලිබඳව ඇති සහනයද ගණන් බලා ඇත.

සහල් මාෆියාව

නමුත් සැබවින්ම මේවන විට විවෘත වෙළඳ පොලේ සම්බා කැකුලු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 140 ටය. මෙය කඩ හිමියාට සහල්  ලොරියෙන් දෙන්නේ රුපියල් 135 ටය. නමුත් මේ වන විට සහල් වල උපරිම මිලක් සඳහන් කර තිබුණද එලෙස මිලට ගැනීමට සහල් කඩවල් වල නැත. සම්බා කිලෝ 05 කවරයක මිල රුපියල් 490 ක් ලෙස සඳහන් කර තිබුණද සැබවින්ම එහි මිල රුපියල් 700 කි.

මේ පිලිබඳ කඩහිමියන්ගෙන් ඇසු විට පවසන්නේ උපරිම මිල සඳහන් කර සහල් ගෙන ආවද කඩේට අතින් ලියු කොළයක සඳහන් කර ගෙවිය යුතු මුදල සහල් අලෙවි නියෝජිතවරුන් විසින් ලබා දෙන බවය. කිසිදු නමක්, දුරකථන අංකයක් සඳහන් කර නැති කොළයකට ඔවුන්ට කිලෝවට රුපියල් 135 බැගින් සහල් මිල ගෙවීමට සිදුව ඇතැයිද මේ පිලිබඳ කිසිවෙක් සොයා බලන්නේ නැතැයිද ඔවුන් කියා සිටියි.

අහස උසට ගිය පොල්

පොල් යනු සෑම නිවසකම භාවිතා වන දෙයකි. නමුත් මේ වන විට පොල් ගෙඩියද ජනතාවට තරු පෙන්වමින් සිටියි.  නගරබද වලින් බැහැර ප්‍රදේශ වලද මේ වන විට පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 120 – 130 අතරය. පොල් වතු හිමියන්ගෙන් ගැණුම්කරුවන් පොල් මිලට ගන්නේ රැපියල් 70- 80 ත් අතර මිලකටය. මේ පොල් මිල ඉහළ යාම නිසා කාලයක් බන්දුල අමාත්‍යවරයා පොල් ගෙඩිය මැන මිල නියම කිරීමේ ක්‍රියාවලියක්ද ගෙන ආවේය. නමුත් එය යටපත් විය.

අද වන විට කොළඹ වැනි තදාසන්න නගර වල පොල් අලෙවි වන්නේ ග්‍රෑම් වලිනි. ඇතමුන් බොහෝ විට පිටිකළ පොල් කිරි වලට නැඹුරු වෙමින් ඇත්තේය.

අමු මිරිස්

මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 950 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා කොච්චි වලට මේ දිනවල වැඩිපුර ඉල්ලුමක් ඇති වෙමින් තිබේ.  සමහරු කිසිදු මිරිස් වර්ගයක් නොමැතිව ව්‍යාංජන සකසන්නීය.

කහ 

කහ ගැටලුව ඇත්තේ පළමු කොරෝනා රැල්ල පැමිණි කාලයේ සිටමය. නමුත් තවමත් විසඳුම් ලැබී නොමැත. කහ ආනයනයද තහනම් කර ඇති හෙයින් ඇතැම් ව්‍යාපාරිකයින් හොර රහසේ කහ ගෙන ඒමට කටයුතු කරමින් ඇත්තේය. එසේ නීති විරෝධිව ගෙන්වනු ලබන කහ ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වීමෙන් පසු විනාශ කරන්නේය. කහ අද වන විට රත්තරං තරම්ම වටිනාකමින් යුක්ත වී ඇත.

මේ අප සඳහන් කර සිටියේ කිහිපයක් පමණක්ය. මෙවැනි මිල ඉහළ ගිය ආහාර ද්‍රව්‍ය බොහෝ ඇත.  මෙලෙස  එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යමින් තිබියදී ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

බන්දුල අමාත්‍යවරයා අඩු මිලට දෙන බඩු ගැනීමට සතොසට හෝ සමුපකාරයටම යා යුතුය. නමුත් එහි ගිය පසු බඩු නැත. පාරිභෝගිකයාට සිදු වන්නේ වරු ගණනනක් පෝලිමේ සිට ආපසු නිකන් ඒමටය.  මෙයින් අප්‍රසාදයට පත්වන්නේද රටේ ජනාධිපතිවරයාය.

මීට පෙරද සහල් මිල අඩු කළ බවට වෙළඳ අමාත්‍යවරයා පැවසු නමුත් වෙළඳපොලේ සහල් තිබුනේ නැත. එවිට අමාත්‍යවරයා පවසා තිබුණේ තවමත් මහ කන්නයේ ගොයම් කැපී නොමැති බවත් කැපුණු පසු ඒ මිල ගණන් වලට ලබා දෙන බවත්ය.

ඒ නිසා වෙළඳ අමාත්‍යාංශයේ මිල අඩු කීරිම් ගැන ජනතාව දැන් විශ්වාස තබන්නේ නැත.

Social Sharing
නවතම