අද ජනමාධ්‍යට සමාජයේ ඉඩක් නැහැ – සීතා රංජනී (කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

Media has no place in society today - Sita Ranjani (Convener Free Media Movement)

මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක.  මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද?

මට නම් පේන්නේ ජනමාධ්‍ය කියන එකට අද සමාජය තුළ ඉඩක් නැති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඇත්තටම දරුණු විදියට විවේචනය කරනවා නොවෙයි. අතලොස්සක් මාධ්‍ය තියෙන්න පුළුවන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා මේ ප්‍රශ්න දිහා බලන. ඒවා ඉතාම සීමිතයි, ඒවායේ හඬ සමාජයට නොඇසෙන තරම්.

ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කියූ විට විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය හා පුවත්පත් සියල්ලම පාහේ බොහෝ දුරට කලින් කියූ විදියේ දේශපාලන උවමනාවන් මත හැසිරෙන ආකාරයක් තමයි දක්නට තියෙන්නේ. විශේෂයෙන්ම රූපවාහිනි මාධ්‍ය කියන එක පවතින දේශපාලන පක්ෂයට නැතිනම් ආණ්ඩුවට හිතවාදී ආකාරයට තමයි හැසිරෙන්නේ.

මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වුවත්, පරමාධිපත්‍ය උල්ලංඝනය වුවත්, මානව හිමිකම් උල්ලංඝනය වුවත්, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වුවත්, ඒ අය ඒවා වාර්තා කරන්නේ වාර්තා කිරීමට එහා ගිහිං ඒවා සාධාරණීකරණය වන ආකාරයටයි. මෙනිසා ආණ්ඩුවක් ලෙස කරන දේවල් සාධාරණීයකරණය වන ආකාරයට තමයි අදහස් පළ කිරීම්, වාර්තා කිරීම් දක්නට ලැබෙන්නේ.

මේ තත්ත්වය දිගටම පැවතිය හොත් අනාගතයේදී මාධ්‍යවේදියා හා දේශපාලනඥයා අතර වෙනසක් දකින්නට ලැබෙන එකක් නැහැ. එතකොට මට හිතෙනවා එය නිසාම විකල්ප මාධ්‍ය ධාරාවකට ඉඩකඩක් හැදෙයි කියලා.

සමහර විට දැනට තිබෙන ඩිජිටල් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය වගේ දේවල් වලට අනාගතයේ වැඩි ඉඩක් ලැබෙයි. ඒවා සාධාරණ විදියට ප්‍රශ්න කතා කළොත් ඒවා වෙනුවෙන් පෙනී සිටියොත් මාධ්‍යයට පිළිගැනීමක් ලැබෙයි.දැනට මේ යන විදිහට ගියොත් මේ පවතින මාධ්‍යයට මම හිතනවා අනාගතයේ ජනතාවගේ පැත්තෙන් කැමැත්තක් නැතුව යයි.

යහපාලන කාලයේ තොරතුරු දැනගැනීම අයිතියක් කලා. ඊට පස්සේ ඒක මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් වලට වැටුණා. ඒකත් එක්ක ඔබ හිතනවාද ජනමාධ්‍යවේදීන් ඒ අයිතිය පාවිච්චි කරලා ජනතාවට සත්‍ය තොරතුරු දෙන්න කටයුතු කරා කියලා. ඒ අයිතියට ඉදිරියේදී මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද ?

මේ වන විට විසි ව්‍යවස්ථා සංශෝධනය එක්ක, තොරතුරු අයිතිය සම්බන්ධයෙන් යම් අනතුරක සේයාවක් තියෙනවා. මේ කොමිෂන් සභා පවතින බව කියනවා. නමුත් ඒවාට පත්කිරීම් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් දේශපාලනි කරණය කරලා තියෙනවා. දැනට තියෙන යෝජනා අනුව ස්වාධීන කොමිෂන් සභා කියන එක පිළිබඳ විශ්වාසය තියන්නේ කොහොමද කියන එක අනාගතයට බාරයි.

නමුත් මට හිතෙනවා දැන් මුලින් අහපු විදිහට තොරතුරු දැනගැනීමේ පනත සමඟ යම් මට්ටමකට තොරතුරු දැනගැනීමේ පනත ඇසුරු කරගෙන ජනතාවට බලපාන සත්‍ය හෙළිදරව් කිරීමට (රජයන් හා පාලකයන් විසින් කරන වැඩසටහන් හෝ වෙනත් දෑ තොරතුරු හෙළිදරව් කරන්න දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ) වැඩ කරන යම් මාධ්‍යවේදීන් පිරිසක් බිහිවෙලා තියෙනවා.

ඒ අතරේ යම් යම් අභියෝග තියෙන බව දැනගන්නට ලැබී තියෙනවා. නමුත් තොරතුරු දැනගැනීමේ පනත නිසා දැන් තියෙන තොරතුරුවල ට අනුව ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂයෙන් සිවිල් සමාජයට දැනගැනීමේ අයිතිවාසිකම ලැබිල තියන බව තමයි කියන්න තියෙන්නේ. යම් මට්ටමකට හෝ ඒවා අනාගතයේදී වෙනස් වුවහොත් එය මේ රටේ අභාග්‍යය.

එය රටක් වශයෙන් අපි ආපස්සට යෑමක්. තොරතුරු කොමිසමට තම ස්වාදීනත්වය නැතිවෙලා එම කොමිසමට දේශපාලන බලපෑමක් වුවහොත් එය සමාජයේ අපේ අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු දැන ගැනීමට, සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් වලට නරකට තමයි බලපාන්නේ.

ඔබ විකල්ප මාධ්‍යයේ සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් විදිහට මාධ්‍ය සම්ප්‍රදායන් පිළිබඳ ඔබට විශාල අදහසක් ඇති. එයත් සමග අද සමාජ මාධ්‍ය ගත්තොත්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඉස්සර විකල්ප පුවත්පතක හෙඩිමක් වුවත් විශාල සමාජ කතිකාවතක් නිර්මානය කරනවා. අද විකල්ප පුවත්පත් තුළ ගවේෂණාත්මක ලිපි පළ වුණත්, ඒවා ෆේස්බුක් එක හරහා කියවන තැනට ගිහින් තියෙනවා. මේ වෙනස ඔබ අත් දකින්නේ කොහොමද?

එය හරිම දීර්ඝව සාකච්ඡා කරන්න ඕනෑ මාතෘකාවක්. ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ජනමාධ්‍යවේදීන් විසින් හසුරුවන මාධ්‍යයක් නෙමෙයි. ස්මාට් ෆෝන් එකක් තියනව නම් ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පෝස්ට් කරන්න පුළුවන්. එය වගකීමක් වගවීමක් සහිතව කරනවද කියන එක පිළිබඳව හිතන්න අපිට අමාරුයි.

ආචාර ධාර්මික මගපෙන්වීමක් ඒ තුළ නැහැ. එම මාධ්‍යකරණයට මාධ්‍ය පිළිබඳ දැනුමක් හෝ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි සම්ප්‍රදායික මාධ්‍යයක අපි වැඩ කරද්දි සමාජ මාධ්‍ය හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආචාරධර්ම පිලිගන්නවා ද නැති ද යන්න වෙනම කාරණයක් වුවත් එයට යම් ආචාරධාර්මික මගපෙන්වීමක් තියෙනවා.

ඒවා නොතකා වැඩ කරන තත්ත්වයන් ඕනෑ තරම් අපට දක්නට තියෙනවා. විකල්ප මාධ්‍ය තුළ දක්නට ලැබෙන විශේෂත්වය තමයි (රාවය, අනිද්දා පත්තර වැනි ) ඒවා ගොඩක් දුරට සමාජය ගැන කැක්කුමක් තියෙන, සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා අනෙකුත් අයිතිවාසිකම් ගැන ජනතාවගේ හඬ වාර්තා කිරීම.

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්, සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාවය තිබෙන, මේ යන ගමන වෙනස් කරලා යහපත් සමාජයක් ගොඩ නැගීමේ කැක්කුම තියෙන පිරිසක් තමයි එදත් අදත් විකල්ප මාධ්‍ය පද්ධතිය තුළ ඉන්නේ. එවිට ඒ අය වැඩ කරන විදිය බොහෝ විට පරිස්සම් සහගතයි.

අපි ඒකාලේ වචනයක් ලිවීමේදී වුණත් සැලකිලිමත් වුණා. උදාහරණයක් කියන්නම්. මුල් කාලේ අනූ ගණන් වල LTTE සංවිධානය ගැන ලියද්දී කොටි සංවිධානය කියලා අපි භාවිතා කළේ නැහැ. ඒ වචනය ගැන අපි සාකච්ඡා කළාම අපි ආපු නිගමනය තමයි ඒ වචනය හරහා සමාජයට යන ආකල්පය නරක එකක් කියන එක.

අපි කොටි හෝ කොටි සංවිධානය කියන එක නොකියා LTTE කියලා භාවිතා කලා. ඒ කාලේ ලොකු මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් ගොඩනැගිලා තිබ්බෙ නැති වුවත් යම් මට්ටමකට අපි එසේ සාකච්චා කර දේවල් කළා.

අපි අනිත් අතට ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එරෙහි ආකල්ප මතු නොවන ආකාරයට, යම් විදියකට වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කර ගන්න කර්තෘ මණ්ඩලය විදියට සාකච්ඡා කරලා ඒවා නිවැරදි කර ගන්න උත්සාහ දැරුවා. අද වන විට යම් ආචාර ධාර්මික පද්ධතියක් තිබෙන නිසා කර්තෘ මණ්ඩලවල ඒවා කෙරෙනවා ඇති.

අතීතයේදී පවා අපි එහෙම සාකච්ඡා කරල සමාජයට යම් දැක්මක් සහිත ජනතාවට හඬක් වෙන ආකාරයට වැඩ කිරීමට තමයි උත්සාහ කලේ. අදටත් දකින්න තිබෙන ආකාරයට විකල්ප මාධ්‍ය තමයි ඒ ආකාරයට වැඩ කරන්නේ. ෆේස්බුක් වගේ දේවල් මේ ගොඩට දාන්න බැහැ. ඒකෙ කිසිම සීමාවක් නෑ. ඒක ඕනම කෙනෙක් කරන වැඩක්.

ඒතුළත් වඩා විචාරශීලීව වඩා සමාජ වගකීමක් සහිතව මාධ්‍ය භාවිතා කරන පිරිස් ඉන්නවා. එවැනි පිරිස් වඩා මතු වුනොත් සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍ය කියන එකත් අනාගතයේ ජනතාවට වඩා ඵලදායක, ජනතා විසින් පිළිගන්නා තත්ත්වයට පත්වෙයි. සමාජ මාධ්‍ය ෆේස්බුක් වැනි දේවල් කරන පුද්ගලයන් වුවද ඔවුන් මේ සමාජ වගකීම අවබෝධ කරගෙන වැඩ කළහොත්, ඒවාටත් තැනක් ලැබෙයි.

කේ. සංජීව

Related posts