සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි.

ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18, ගල්කිස්ස 29, මුල්ලේරියාව 12, නවගමුව 07, රණාල 16, පිළියන්දල 12, තලංගම 07, වැල්ලම්පිටිය 29, මිරිහාන 01, කොට්ටාව 06 සහ මහරගම 12ක් ලෙසය.

මීට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්,කළුතර දිස්ත්‍රික්කයෙන් 72ක්, මහනුවර 35ක්, ගාල්ල 40ක්, කෑගල්ල 06, රත්නපුර 12, අම්පාර 16, මාතර 17, වව්නියාව 06, නුවරඑළිය 02, හම්බන්තොට 02, කුරුණෑගල 04, අනුරාධපුර 02, මන්නාරම 02, මොණරාගල 04, පොළොන්නරුව 08, මාතලේ 05, ත්‍රිකුණාමලය 13, පුත්තලම 14, බදුල්ල 09, කිලිනොච්චිය 02, මුලතිව් 01, යාපනය 02, මඩකලපුව 01ක් සහ ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කොවිඩ් 19 වෛරසය පාලනයකින් තොරව රටපුරා පැතිර යමින් පවතින බවත් බලධාරීන් තවදුරටත් සමාජ ව්‍යාප්තිය පිළිබඳ  ජනතාව  දැනුවත්කර මෙහි ඇති සැබෑ අවදානම අවබෝධ කරදී රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතා සහාය ලබාගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා තිබුණේ  “මේ රෝගීන් දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් වාර්තා වෙනවා. මේ දත්ත විශ්ලේෂණය කරලා බලලා සෞඛ්‍ය බලධාරීන් තවදුරටත් රටට සමාජගත වෙලා නෑ කියන වචන හරඹයක නොයෙදෙමින් මහජනතාවට සැබෑ තත්වය අවබෝධ කරවලා දැනට රටේ පවතින අවදානම, කොවිඩ් 19 පාලනයකින් තොරව රටපුරා පැතිර යන ආකාරය පිළිබඳව සත්‍ය තොරතුරු මහජනතාවට ප්‍රකාශ කරලා, මේක වළක්වාගන්න සහයෝගය ලබාගැනීම තමයි යුතුකම කියලා අපි සලකන්නෙ. ආසාදිත රෝග ලක්ෂණ නැති පුද්ගලයින් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙනිහිල්ලා ඒ පවුල් අපහසුතාවයට පත්නොකර, ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය එසේ පවසද්දි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කියා සිටියේ දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු බවය.

එක දිගට දින තුනක්ම දිස්ති‍්‍රක්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තාවී ඇති බවත්, එමගින් කොරෝනා අවදානම වැඩිවීමක් දක්නට තිබෙන නිසා ජනතාවට හරි අවදානම තේරුම් ගැනීමට සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් රටට සත්‍යය ප‍්‍රකාශ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ වන විට වෛද්‍යවරුන් 50 ක් පමණ කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත්, තවත් වෛද්‍යවරුන් 200 ක් පමණ නිරෝධායනය වෙමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. පවතින තත්ත්වය ගැන සත්‍ය ප‍්‍රකාශ නොකරන්නේ නම් පෙබරවාරි මැද පමණ වන විට කොරෝනා රෝගීන් වාර්තාවීමද වැඩිවිය හැකි බවද ඔහු කියා සිටියි.

එංගලන්ත අගමැතිවරයා පවා නව කොරෝනා ප‍්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සත්‍ය ප‍්‍රකාශ කර තිබෙනව බව පෙන්වා දුන් වෛද්‍ය හරිත අලුත්ගේ පවතින තත්ත්වයෙන් යම් අඩුවීමක් ඇතිකර ගැනීමට කොරෝනා එන්නත මගින් අපේක්‍ෂා කළත් රෝගීන් හඳුනාගැනීම සඳහා දැනට සිදුකරන දෛනික pcr ප‍්‍රමාණය 15,000 සිට 20,000 දක්වා වැඩිකර ගැනීම අනිවාර්යයෙන් ම සිදුකළ යුතු බව ද අවධාරණය කර සිටියි.

ඔවුන් එසේ පවසද්දි වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ දැනට පවතින ආකාරයෙන් කොවිඩ් රෝගීන් වැඩිවීමක් තමන් බලාපොරොත්තුවෙන් සිටි බවත් එහෙයින් කොවිඩ් පාලනයෙන් ගිළිහී ඇතැයි කියන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන බවත්ය.

කෙසේ නමුදු මේ වන විට සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරිය පවා මේ වෛරසයට ගොදුරුව සිටියි. මේ නිසා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාද ස්වයං නිරෝධායනයට ලක්ව ඇත. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ්කක පහක්ද වසා දමා ඇත.

එසේම පාසල් ළමයින් තුලද කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඇත. එහෙත් තවමත් කොරෝනා සමාජගත වී නැත.

 

Social Sharing
නවතම