නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!

Arts Council Act playwright in sri lanka M Safeer

නාට්‍යවේදී එම්. සෆීර්

අපි හරි පටුයි නේද?

රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු වැඩ කරන්න. එතකොට රජය විසින් කළ යුතු වන්නේ යටිතල පහසුකම් ගොඩනැංවීම. මහජන අරමුදල් ගොඩනැගීම. හැමකෙනාටම සමානව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මිනිස්සුන්ට කලාකරුවන්ට යන්න පුළුවන් ක්‍රමයක් හැදීම. හැබැයි නාට්‍යකරුවෝ හිතනවා නම් මම නාට්‍යයක් හදනකොට රජය විසින් මට සියල්ල දෙන්න ඕනෑ. මම නාට්‍යයක් හැදුවට පසු මගේ වගකීම ඉවරයි. රජය තමයි ඉතිරි සියල්ල කරන්න ඕනෑ කියලා, ඒ අදහස හරි පටුයි කියලා මම හිතනවා.

රාජ්‍ය නාට්‍ය උළෙල තියෙන්නෙ රජයේ ප්‍රචාරණය ( ප්‍රොපගැන්ඩා) කරන්න තියෙන එක ව්‍යාපෘතියක් වශයෙන් විතරයි. නාට්‍යකරුවෝ සිහින දකින්නේ රාජ්‍ය සම්මාන ගන්න නම්, සම්මාන ලැබුන මිනිස්සු හොඳයි කියනවා. නොලැබිච්ච මිනිස්සු ඒක අසාධාරණයි කියනවා. ඊට පස්සේ අහනවා විනිශ්චය මණ්ඩලවල ඉන්න මිනිස්සු කවුද කියලා? ප්‍රශ්නය වෙන්නේ ඕක දැන් දශක තුනක් තිස්සේම එකම ඇඬියාව. නමුත් නාට්‍යකරුවො හැටියට “අපිට ලංකාවේ ප්‍රමුඛ නගර 10 ක එක හා සමාන රංග ශාලා දහයක් හදලා දෙන්න, අපි නාට්‍ය  කරන්නම්” කියලා කියන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ. අපි කවුරුත් ඒකට උත්සාහ කළේ නැහැ. ලංකාවේ නාට්‍යකරුවන්ට අදාළව මහජන අරමුදලක් පිහිටුවන්න, ඒකෙන් හැමෝටම සමාන වරප්‍රසාද දෙන්න කියලා නාට්‍යකරුවෝ ඉල්ලුවේ නැහැ.

කලා මණ්ඩල පනත

නාට්‍ය කලාවට අදාළව ප්‍රතිපත්තිමය සහ තීරක බලය සහිත මූලයක් හදන්න කවුරුත් සූදානම් වුණේ නැහැ. උදාහරණයක් විදියට කලා මණ්ඩල පනත තාම තියෙන්නෙ අපිට සුද්දා දීලා ගිය විදියට. යටත් විජිත කලා කවුන්සිල පනත තාම තියෙන්නෙ. ඒක අවස්ථා දෙකකදී කුඩා සංශෝධන දෙකක් ඇරෙන්න කලා මණ්ඩල පනත ලංකාවට ගැලපෙන විදියට පුර්ණ සංශෝධනයක් ඇති වුණේ නැහැ. අවම වශයෙන් කලා මණ්ඩලය කියන මූලයට මේ රටේ නිශ්චිත කාර්යාලයක්වත් නැහැ. කලා මණ්ඩලයට පත්වෙන මිනිස්සු ගරු තනතුරු හැටියට පත් වෙනවා ඇරෙන්න වැටුප් ලබන තනතුරක් නෙමෙයි. ඒ ගොල්ලො වෙන කරන්න දෙයක් නැති උනහම රැස්වීම්වලට එන තත්ත්වයට පත් වෙනවා එක්තරා කාලයකදී. කලා මණ්ඩලය යටතේ තියන නාට්‍ය අනු මණ්ඩල, සංගීත අනු මණ්ඩල, සාහිත්‍ය අනු මණ්ඩල මේ සියල්ල තමයි ලංකාවේ කලාව සම්බන්ධයෙන් පද්ධතික තීරණ ගන්න පුළුවන් හරි හෝ වැරදි මූලයන් ටික. හැබැයි මේ මූලයන් ශක්තිමත් කරන්න කිසිම දෙයක් වුණේ නැහැ. නාට්‍ය අනු මණ්ඩලය කියන තැනට මේසයක්වත් නැති රටක් මේක. හැබැයි මේ දුප්පත් මම කුලී ගෙවන තැනක හරි මගේ නාට්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනවා. එතකොට මෙන්න මේ කාරණා උඩ පත් වෙච්ච කිසිම ඇමතිවරයෙකුට ඕන නැහැ කලා සංස්කෘතික ප්‍රතිපත්තියක් මේ රට තුළ ස්ථාපිත කරන්න. ධීවරයන්ගේ ප්‍රශ්න ඒ අදාල විෂය ඇමතිවරු හොයා බලනවා.  ගොවියන්ගේ ප්‍රශ්න කෘෂිකර්ම අමාත්‍යවරු හොයා බලනවා. හැබැයි කලාවට එහෙම නැහැ.

අපේ ඉල්ලීම් දියව්..

ඉතිහාසයේ මොන නාට්‍යකාරයද පාරට බැස්සේ අපේ ඉල්ලීම් දියව් කියලා. එතකොට කවුද ඒවා දෙන්නෙ? අනික මැතිවරණ කාලයට ඒ එකතු වෙන පිරිස සිහින දකිනවා ඒගොල්ලන්ගෙ පාලන බලයක් ආවහම මෙතෙක්නොවූ විරූලෙස කලාව තුළ දේවල් වෙයි කියලා. මාස හයක් යනකොට ඒගොල්ලෝ කියනවා “මාර වැඩේ අපිත් හිතුවා. දැන් අපිට ඒ මිනිස්සු හම්බ වෙන්නවත් වෙලාවක් නැහැ කියලා.” ඒකට හේතුව තමයි මෙහෙම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන් මූලයක් හැදුණෙ නැති එක. තව අවුරුදු පනහකටවත් අපෙන් දශක හතරකට පහකට පස්සේ එන නාට්‍යකරුවන්ටත් මේ ඇඬියාව තියාගන්න වෙනවා. ඉතින් නාට්‍යකරුවො කියන්නේ හිඟන්නො කියන සංකල්පය තව තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝම මිසක් වෙන අය නෙමෙයි. මම කියනවා මම නාට්‍යකාරයෙක් කියලා. මට කවුරුත් පිළිගැනීමක් දීලා නැහැනේ මම නාට්‍යකරුවෙක් කියලා. මම නාට්‍ය කරලා තියෙනවා, සම්මාන අරගෙන තියෙනවා. හැබැයි මමයි කියන්නේ මම නාට්‍යකරුවෙක් කියලා.

පිළිගත්ත කිසිවෙක් කියන්නෙ නැහැනෙ මම නාට්‍යකරුවෙක් කියලා. එතකොට එතන ඉඳලම අපිට තියෙනවා ගැටලුවක්.

කෝ හඳුනාගැනීම..

ලංකාවේ සාමාන්‍යයෙන් ලේසියෙන් කරන්න පුළුවන් ක්ෂේත්‍ර දෙක, තුනයි තියෙන්නේ. ලංකාවේ ඕනෑම කෙනෙකුට පොතක් ලියන්න පුළුවන්. ලංකාවේ ඕනෑ කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන්. ඕනෑ කෙනෙකුට චිත්‍රපට හදන්න පුළුවන්. ඕනෑ කෙනෙකුට නාට්‍යයක් කරන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් නැහැ. නමුත් කිසිම තැනක මේක පද්ධතිගත වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම භාවිතයකට හුරු වෙච්ච කෙනෙකුට ලැබෙන්න ඕනෑ හඳුනා ගැනීම කොහේහරි ව්‍යවස්ථාපිතව තියනවද? අවුරුදු එකේ සිට පහ දක්වා ඕනෑම කලා ක්ෂේත්‍රයක් ඇතුලෙ නියෝජනය කරන පුද්ගලයෙක්ව හඳුන්වන්න පුළුවන් ගෝලීය වචනය තමයි ආධුනිකයා (amateur). වසර 6 ඉඳන් 10 වෙනකම් වැඩ කරද්දි එයා වෘත්තිකයෙක්. වසර 10 සිට 20 දක්වා වැඩ කරද්දි එයා ප්‍රවීණයෙක්. අවුරුදු 30ක් විතර වැඩ කරද්දි එයා කෘතහස්ත කලාකරුවෙක්.  අවුරුදු 40 හෝ ඊට එහා වැඩ කරන පිරිස් ජේෂ්ඨ කලාකරුවන්. අවම වශයෙන් එහෙම නිර්ණායක ටිකක්වත් නැති රටක් ඇතුළෙ මේ මැසිවිලි නගනකොට පෙරළා අපි අපිව කණ්නාඩියකින් බලාගන්න වෙනවා.

විජය රජ්ජුරුවන්ගේ ඉඳන් 2012 තිබුණු මහින්ද රාජපක්ෂ පාලනය දක්වාම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරන්න බැරිවුණේ නාට්‍යකරුවෝ ඉල්ලීමක් කරපු නැති නිසාද, නැත්නම් ඒ අදාල පද්ධතියෙ හිටපු සංස්කෘතික අමාත්‍යාංශයට උවමනාවක් තිබුණේ නැති නිසාද කියන ප්‍රශ්නය තියෙනවා. මේ එකතු වෙන්නෙ නැතුව ඒකරාශී වෙන්නෙ නැතුව තනියම කරන ක්‍රීඩාව නැවැත්තුවේ නැත්නම් තව දශක ගණනාවක් නාට්‍යකරුවන්ට හෝ කලාකරුවන්ට මේ ඇඬියාවම තියාගෙන ගිහිල්ලා අසරණ වුණාම, එක්තැන් වුණාම, ලෙඩ හැදුනාම, අනේ ජනාධිපතිතුමනි! අනේ අගමැතිතුමනි! මම රටට විශාල සේවයක් කරපු කලාකරුවෙක් මම ගැන අනුකම්පා කරන්න කියන ප්‍රකාශයට යන එක ඉතාම අසික්කිතයි. අපේ අභිමානය තමයි අපි අවසානයේ විකුනන්නෙ. අපිට කලාකාරයෙක් වෙන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. අපි නම් කලාකාරයෙක් වෙන්නේ, ඒකත් අපි භාරගත යුතුයි.

එකතුවෙමු නැත්තන් ආත්මයක් නෑ

ලංකාවේ කිසිම ක්‍රමවේදයක් නැහැ නාට්‍යකරුවෙක් මංගල දර්ශනයක් ඉදිරිපත් කරන කොට ශාලාව 50% ක වට්ටමකටවත් ලබා දෙන්න. ලංකාවේ ශාලා තියනවා හාරදාහක්. නාට්‍ය ශාලා විස්සක් නැහැ. දැනට අපට කොළඹ තියෙන්නෙ ටවර්, එල්ෆින්ස්ටන්,  ලයනල් වෙන්ඩිට්, බිෂොප්, ලුම්බිණි සහ ජෝන් ද සිල්වා කියන රඟහලවල් ටික. නෙළුම් පොකුණ රඟහලක් විදියට සලකන්න බැහැ. ඒක ශාලාවක්. දැන් එයිනුත් ලුම්බිණිය වහලා. ජෝන් ද සිල්වා වහලා. ලයනල්වෙන්ඩ්ට් පෞද්ගලික ආයතනයක්. බිෂොප් රගහල එම පාසලෙන් පවත්වා ගෙන යන්නේ. රජය සන්තකව තියෙන්නේ ටවර්, එල්ෆින්ස්ටන් වගේ රඟහලවල් කිහිපයක් විතරයි. මෙන්න මේ ටික ඇතුළත වැඩ කරන්න තමයි අපි ඔක්කොමලා පොරබදන්නේ.

කියන්න තියෙන්නෙ එකම දෙයක්. එකතු වෙන්නෙ නැතුව මේ කාර්ය කරන්න බැහැ කියන තැනයි මම ඉන්නේ. අවුරුද්දක් නාට්‍ය කලාවේ පොදු යහපත වෙනුවෙන් කැපවෙන්න පුළුවන් මිනිස්සු දහ දෙනෙක් එකතුවුණොත් මේ ප්‍රශ්න ගොඩක් ඒවට විසඳුම් හොයන්න පුළුවන් කියන එකයි මගේ අදහස.

දැන් අපි ඉන්නේ අපේ සතුට වෙනුවෙන් නාට්‍යයක් කරලා සම්මාන ලැබුණාම හොඳයි කියන, සම්මාන නොලැබුනහම අපේ නාට්‍යට විශාල අසාධාරණයක් කරනවා කියන කලාකාරයො පිරිසක් එක්ක. ඔවුන් සමගයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මට තේරෙන ආකාරයට මම හොඳ උදාහරණක්.

මේක කුහකකම

මම ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කළා. මේ රටේ කිසිම කෙනෙකුට කරන්න බැහැ කියලා අභියෝග කරද්දී. මට මතකයි  2001දි මගේ “ඔය දොර අරින්න” නාට්‍යය ඉන්දියාවේ එන්.එස්.ඩී නාට්‍ය උළෙලට ඉදිරිපත් කරන්න, එම නාට්‍ය උළෙලට ගිය ප්‍රවීණ නාට්‍යකරුවන් හය දෙනෙක්ගාව මම වැඳ වැටුණා මට ඊ-මේල් ලිපිනය දෙන්න කියලා. මට ඒ කිසි කෙනෙක් ඒක ලබාදුන්නෙ නැහැ. දැන් ඒ එන්.එස්.ඩී එකේ මම උගන්වනවා. මම තනිවම හොයාගෙන ගියේ. මේ රටේ විශ්ව විද්‍යාලවලට මාව ඕනෙ නැහැ. හැබැයි ඉන්දියාවට, රුමේනියාවට, බංග්ලාදේශයට, ප්‍රංශයට මාව ඕනෑ. ඇයි? මොකක්ද මේ අවුල? කුහකකමයි අනිකාගේ දැනුම ලබා ගන්න තියෙන මහ අසික්කිත ගතියයි අපේ රට මේ අත් විඳින්නෙ. මේක මම විතරක් නෙමෙයි. සියලු දෙනා අතීතයේ ඉඳන් අත්විඳිනවා. සුගතපාල ද සිල්වා වගේ මිනිස්සුන්ටත් මේ අවස්ථාව අපේ රටේ ලැබුණේ නැහැ. හෙන්රි ජයසේනලා වගේ මිනිස්සුන්ව මම දන්න තරමින් විශ්වවිද්‍යාලවලට කතා කළේ නැහැ.

මම කියන්නේ විශ්ව විද්‍යාලයකට යන්න, විශ්ව විද්‍යාලයක දේශනයක් පවත්වන්න හෝ උගන්වන්න සම්මත සහතිකය නම් බලාපොරොත්තු වෙන්නේ. සහතික ඇති සියල්ලෝම බුද්ධිමතුන්, අනෙක් අය නූගතුන් කියලා. ඒ අයට කලාව කරගෙන යන්න දීලා අනෙක් අය පැත්තකට වෙන්න ඕනෑ. මාර්ටින් වික්‍රමසිංහ සහතික තියෙන විද්වතෙක් නෙමෙයි. දැන් සහතික තියෙන අය තමයි කියන්නේ එයා මහා ප්‍රාඥයෙක් කියලා.  සුගතපාල ද සිල්වාට මේ රටේ කිසිම තැනක කතා කළේ නැහැ, ඔයාගේ දැනුම බෙදාගන්න එන්න කියලා අධ්‍යාපනික පැත්තෙන්. හෙන්රි ජයසේනට කතා කළේ නැහැ. අදටත් ඉන්න පරාක්‍රම නිරිඇල්ලට කතා කරන්නේ නැහැ. ලූෂන් බුලත්සිංහලට කතාකරන්නෙ නැහැ. එතකොට මට කතා කරන්න ඕන කියලා එකකුත් නැහැ. වෙන්නෙ නැහැ ඒක, මේ රට ඇතුළේ. ගෝත්‍රයයි කුලයයි එක්ක තමන්ගේ පැවැත්ම හදා ගත්තට පස්සේ, තමා ස්ථාවර වුණාට පස්සේ, අනෙකාට කෙලවීම තරම් තවත් සතුටක් මේ ගොඩක් අයට නැහැ.

Social Sharing

Related posts