ඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති

දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා චෝදනා කර තිබුණි.

නමුත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බවත්  මෙතන කිසිදු  ජාවාරමක් සිදු නොවන බවත්ය.

අමාත්‍යවරයා  පවසන ආකාරයට මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවා ඇත. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරන බවත්  ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත් බවත් ඔහු පවසයි.

එසේම ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දැමීමට නොහැකි බවත් සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන්  වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින බවත් ඒ නිසා  විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (28) ගම්පහ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දෙවැනි කොවිඩ් රැල්ල අවස්ථාවේදීද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යුක්රේන ට්‍රැවල් බබල් ක්‍රමයක් ආරම්භ කළ අතර එහිදී සිදු වු සිදුවීම් අපට අමතක නැත. කොවිඩ් වැළඳුන අය පවා එහිදී මෙරටට පැමිණි අතර සමහරු හෝටල් වලදී ගැටුම් ඇති කර ගනු ලැබුහ. ඒ නිසා යළිඳු වරක් එවන් සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගැනීම රජය අවධානය යොමු කළ යුතුය.

-ශානි-

Social Sharing
නවතම