
දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි COEX Convention & Exhibition Center හි පැවති 41 වැනි Seoul International Travel Fair (SITF 2026) ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර සම්මාන හතරක් දිනාගෙන තිබේ.
2026 ජුනි 4 සිට 7 දක්වා පැවති මෙම ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා සිදු කළ විශිෂ්ට සේවාව, නායකත්වය සහ දැක්ම ඇගයීමට ලක් කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වෙත 2026 SITF Eminent Tourism Pioneer Award සම්මානය පිරිනමා ඇත.
ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයට සිදු කළ අධ්‍යයනමය දායකත්වය සහ කර්මාන්තමය බලපෑම සැලකිල්ලට ගනිමින් SITF Tourism Award Committee විසින් වාර්ෂිකව සිදු කරන දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබේ. 2026 වසරේදී කොරියාවේ ප්‍රමුඛ පුද්ගලයන් තිදෙනෙකු සහ ජාත්‍යන්තර පුද්ගලයන් තිදෙනෙකු පමණක් මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබූ අතර, SITF ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකිකයකු මෙම ගෞරවයට පාත්‍ර වීම විශේෂත්වයකි.
එමෙන්මශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‌යාංශය විසින් ප්‍රදර්ශනයේදී තවත් ජාත්‍යන්තර සම්මාන තුනක් ද දිනාගෙන තිබේ. ඒවා වන්නේ Best Popular Booth Award, Best Booth Design Award සහ Best Performance Award ය.
ශ්‍රී ලංකා මණ්ඩපය වෙත පැමිණි දහස් සංඛ්‍යාත නරඹන්නන්ට සත්‍ය ශ්‍රී ලාංකික සංස්කෘතික අත්දැකීම්, අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන සහ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය හඳුන්වා දීම වෙනුවෙන් Best Popular Booth Award සම්මානය හිමි විය. එසේම, ඇම්බැක්ක දේවාලයේ හි දැව කැටයම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආශ්‍රිත නිර්මාණාත්මක සංකල්පයක් මත සැකසූ මණ්ඩප සැලසුම වෙනුවෙන් Best Booth Design Award සම්මානය ද හිමි විය. ප්‍රදර්ශනය පුරා ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තන හා වාද්‍ය සංදර්ශන සඳහා Best Performance Award සම්මානය පිරිනමා ඇත.
මෙම සම්මාන 2026 ජුනි 7 වැනිදා පැවති ප්‍රදර්ශනයේ අවසන් උත්සවයේදී පිරිනමන ලදී.
මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස වැඩි වැඩියෙන් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වෙමින් සිටින බවත්, මෙම සම්මාන එම ප්‍රගතිය තවදුරටත් තහවුරු කරන බවත්ය.
