ජාතික සම­ගිය වෙනු­වෙන් තබන ලද ශක්ති­මත් පිය­වර කිසි­සේත් ආපසු හර­වන්නේ නෑ!

 

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව සහෝ­ද­ර­ත්ව­යෙන් ජීවත් වන රටක් හා සෑම සංස්කෘ­ති­යක්ම ගෞර­ව­නීය පිළි­ගැ­නී­මට ලක් වන සමා­ජ­යක් අවශ්‍ය බවත්, ජාතික සම­ගිය වෙනු­වෙන් තබන ලද ශක්ති­මත් පිය­වර කිසි­සේත් ආපසු හර­වන්නේ නැති බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. මනු­ෂ්‍ය­ත්වය පෙරටු කර ගත් නව සමා­ජ­යක් නිර්මා­ණය කිරී­මේදී සාහි­ත්‍ය­යට හා සංස්කෘ­ති­යට මහඟු වග­කී­මක් පැවරී තිබෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම අද­හස් ප්‍රකාශ කළේ ඉකුත් 03 වනදා පස්ව­රුවේ වැල්ල­වත්ත රාම­ක්‍රිෂ්ණ ශාලාවේ පැවති ‘කම්බන් උලෙළ’ට එක්වෙ­මිනි. දෙමළ ජන­තා­වගේ ප්‍රධාන සාහිත්‍ය හා සංස්කෘ­තික උත්ස­ව­යක් වන කම්බන් උත්ස­ව­යට එක්වූ ජනා­ධි­ප­ති­ව­ර­යාව එහිදී සාම්ප්‍ර­දා­යි­කව හින්දු චාරි­ත්‍රා­නු­කූ­ලව පිළි­ගනු ලැබිණි.

මේ රටේ සිය­ලුම ජන­තා­වට එක­මු­තු­වෙන් සහ සමා­නා­ත්ම­තා­වෙන් ජීවත් විය හැකි පරි­ස­ර­යක් ගොඩ­නඟා දීමට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉටු­ක­රන මෙහෙ­වර අග­ය­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාව කම්බන් සම්මා­න­යෙන් පුදනු ලැබීම ද මෙහිදී සිදු කෙරිණි. ශ්‍රේෂ්ඨ දෙමළ කවි­යකු වූ කම්බන්ගේ නාම­යෙන් සමස්ත ලංකා කම්බන් කල­ගම් සංවි­ධා­නය 1980දී යාප­නයේ පිහි­ටු­වන ලදි. තරුණ පර­ම්ප­රාව සංස්කෘ­තික සහ දේශ­ප්‍රේ­මය සම­ඟින් ධර්මිෂ්ඨ මාව­තක් ඔස්සේ මෙහෙ­ය­වීම මෙහි අර­මුණ වන අතර කල­ගම් සංවි­ධා­නය විසින් වාර්ෂි­කව කම්බන් උලෙළ සංවි­ධා­නය කරනු ලබයි.

ශ්‍රී ලාංකේය සමා­ජයේ උන්න­තිය සඳහා කට­යුතු කළ කීර්ති­මත් පුද්ග­ල­යන්ට වාර්ගික හෝ ආග­මික භේද­ය­කින් තොරව එහිදී ගෞරව පුද කරනු ලබයි. පෙර වස­ර­ව­ලදී ඉන්දි­යාවේ හා ශ්‍රී ලංකාවේ කීර්ති­මත් පුද්ග­ලයෝ රැසක් සම්මා­න­යෙන් පිදුම් ලැබූහ.

කුරු­ක්කු­ල්තු­මන්ලා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­ක­රන්, හිටපු මැලේ­සි­යානු ඇමැති සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.එස්. අර­ව­නන්, ඉන්දි­යාවේ භාර­තීය ජනතා පක්ෂයේ හිටපු ප්‍රාන්ත සභා­පති කේ. අන්න­ම­ලෙයි, ජාත්‍ය­න්ත­රව කීර්ති­මත් අක්මා බද්ධ කිරීමේ විශේ­ෂඥ වෛද්‍ය මොහො­මඩ් රේලා, අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු පී. සසි­ම­හේ­න්ද්‍රන්, කොළඹ කම්බන් කල­ගම් අනු­ශා­සක හිටපු අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු විශ්ව­නා­දන් යන මහ­ත්වරු ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

එහිදී අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා :

“විශේ­ෂ­යෙන්ම මෙම කම්බන් උත්ස­ව­යට මට ආරා­ධනා කිරීම පිළි­බ­ඳ­වත්, ඔබේ ආද­රය සහ ගෞර­වය මා වෙත ලබා­දීම පිළි­බ­ඳ­වත් බෙහෙ­වින් ස්තුති­වන්ත වෙනවා. කම්බන් උත්ස­වය මෙම වස­රේදී දින හත­රක් මුළුල්ලේ පැවැ­ත්වෙ­නවා.

මා හිත­නවා අපේ සමා­ජයේ ඇති වී තිබෙන ගැඹුරු ඛේද­වා­ච­ක­යෙන් යළි ගොඩ ඒම සඳහා පොර­බැ­දී­මේදී සාහිත්‍ය හා සංස්කෘ­ති­ක­මය ක්ෂේත්‍ර­යට විශාල වග­කී­මක් පැවරී තිබෙ­නවා.

12 වැනි සිය­ව­සේදී පමණ කම්බන් කිවි­දා­ණන් රාමා­ය­ණය නැවත ප්‍රති­නි­ර්මා­ණය කර ඉදි­රි­පත් කිරී­මට සමත් වුණා. වාල්මිකී විසින් රචනා කරන ලද රාමා­ය­ණය යළි ප්‍රති­නි­ර්මා­ණය කිරී­මක් ඒ තුළ ගැබ්වී තිබෙන බව අප අව­බෝධ කර­ගෙන තිබෙ­නවා. සෑම වස­ර­කම කම්බන් සංග­මය විසින් ඔහුගේ කවි පිළි­බ­ඳව, සාහිත්‍ය මෙහෙ­වර පිළි­බ­ඳව ඒ තුළ ගැබ්වී තිබෙන සමාජ සාධා­ර­ණ­ත්වය පිළි­බ­ඳව, යහ­පත් දිවි­පැ­වැත්ම පිළි­බ­ඳව නිර­න්ත­ර­යෙන් සාකච්ඡා කර­නවා. නිර­න්ත­ර­යෙන් ඒ පිළි­බඳ අව­බෝ­ධය ලබා­ග­න්නවා.

වර්ත­මා­නයේ අපි සමා­ජ­යක් ලෙස මුහු­ණදී තිබෙන ගැඹුරු අර්බු­ද­යක් තිබෙ­නවා. අපේ අධ්‍යා­පන ක්‍රමය, සමාජ රටාව තුළ මුළු­ම­නින් අපේ දරු පර­පුර යන්ත්‍ර බවට පත්ක­රන ආකෘ­ති­යක් ගොඩ­නැඟී තිබෙ­නවා. අපේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය රඳා­ප­ව­තින්නේ යහ­පත් අධ්‍යා­ප­න­යක් ලබා­දී­මෙන් කියලා අපි හිත­නවා. ඒ වෙනු­වෙන් මවු­පි­යන් තමන්ගේ දරු­වන්ට ඉගැ­න්වීම සඳහා විශාල වෙහෙ­සක් දර­නවා. හැබැයි ඒ වෙහෙස දරු­වන්ට අත්පත් කරදී ඇති ඉර­ණම කුමක්ද?

හිමි­දිරි පාන්දර අවදි වන දරුවා, නිදි­ම­තින්ම පාසල් යන දරු­වෙක්, පාසල් ඇරී නැවත අම­තර පන්ති යන දරු­වෙක්, මධ්‍යම රාත්‍රිය වන­තුරු පොත අතේ තියා­ගෙන ඉන්න දරු­වෙක් අද බිහි වී තිබෙ­නවා. අපි දරු­වන් හදන්නේ යන්ත්‍ර­යක ඇණ­යක්, දැති රෝද­යක් ලෙස ද? අපි කැමැති වුණත්, අකැ­මැති වුණත් අපේ දරු­වන් විශාල ප්‍රමා­ණ­යක් අද යන්ත්‍ර­යක කුඩා කොට­සක් බවට පත්වී තිබෙ­නවා. යන්ත්‍ර­යක කොටස් බවට පත්වූ දරු­ව­න්ගෙන් රටට හිමි­වන අනා­ග­තය කුමක්ද? හද­වතේ තෙත­ම­න­යක් නැති දරු­වන්, ආද­රය, ළෙන්ග­තු­කම නැති දරු­වන්, අනෙකා පිළි­බඳ සහ­ක­ම්ප­නය නොමැති දරු­වන් ඇති වන සමා­ජ­යක් අපි ඉදි­රි­පිට නිර්මා­ණය වී තිබෙ­නවා. සියලු යහ­පත් මිනිස් සබ­ඳතා අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙ­නවා.

අද සමා­ජයේ වටි­නා­කම් බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ලොකු වාහ­න­යක්, විශාල නි‍ෙව­සක්, වැඩි ධනය සමා­ජයේ වටි­නා­කම් බවට පත්වී තිබෙ­නවා. ඒ නිසා අපේ සමා­ජ­යට යළි වටි­නා­කම් සහ හර­ප­ද්ධ­ති­යක් අව­ශ්‍යයි. තෙත­ම­න­යක් තිබෙන දරු­වන්, අනෙකා කෙරෙහි සහ­ක­ම්ප­නය, ආද­රය, ළෙන්ග­තු­කම තිබෙන දරු­වන් අපේ සමා­ජයේ යළි ඇති කළ යුතුයි. එම කාර්ය­ය­යේදී මේ කම්බන් උත්ස­වය ඉතා­මත් වැද­ගත් මෙහෙ­ව­රක් ඉටු­ක­රන බව අපි විශ්වාස කර­නවා. පසු­ගිය දින කිහි­ප­යේම ඔබ සහ ඔබේ දරු­වන් එක­තුවී සාහි­ත්‍යයේ, කවියේ තිබෙන ගැඹුර, කම්බන් රාමා­ය­ණ­යන් අපිට කියා­දෙන අත්දැ­කීම් අපේ ජීවන රටාව එකි­නෙ­කාට ඒත්තු ගන්ව­මින් හැදෑ­රී­මට පටන් ගන්නවා.

අපි වැඩි­පුර පර්යේ­ෂණ කරන්නේ සහ අධ්‍ය­ය­නය සඳහා යොමු වන්නේ තාක්ෂ­ණය දෙස­ටයි. ජංගම දුර­ක­ත­නය අතේ තිබෙන දරු­වන් එහි එක යෙද­වු­මක් බවට පත්ව තිබෙ­නවා. එසේ නම් දරු­වන්ට පැති­රුණු, විශාල ලෝක­යක් අපි නිර්මා­ණය කළ යුතුයි. සාහි­ත්‍යය, කලාව, තෙත­ම­නය, ආද­රය පෙර­දැරි කර­ගත් ලෝක­යක් අපේ දරු­වන්ට නිර්මා­ණය කළ යුතුයි.

අපේ සමා­ජය බිඳුණු සමා­ජ­යක් බවට පත්වී තිබුණා. එකි­නෙකා කෙරෙහි සැක­යෙන්, වෛර­යෙන්, ක්‍රෝධ­යෙන් බලන සමා­ජ­යක් අපි ඉදි­රි­පිට තිබුණා. උතුරේ දෙමළ ජන­තාව කෙරෙහි දකුණේ සිංහල ජන­තාව සැක­යෙන්, වෛර­යෙන්, ක්‍රෝධ­යෙන් බලන සමා­ජ­යක් තිබුණා. උතුරේ දෙමළ සමා­ජය, සිංහල සමා­ජය දෙස එලෙ­සම බලන සමා­ජ­යක් තිබුණා. මෙම වෛර­යෙන් පිරි සමා­ජය අපිට ඉතිරි කරන්නේ කුමක්ද? උතු­රට ද, දකු­ණට ද කිසිදු තැන­කට ජය­ග්‍ර­හ­ණ­යක් ඉතිරි කරන්නේ නැහැ. අපිට ඉතිරි කරන්නේ විනා­ශ­යක්, ඛේද­වා­ච­ක­යක්.

යුද්ධ­ය­කදී පළ­මුව මිය­යන්නේ මනු­ෂ්‍ය­ත්ව­යයි. සාහි­ත්‍ය­යේදී පළ­මුව නැඟි­ටින්නේ මනු­ෂ්‍ය­ත්ව­යයි. ඒ නිසා සාහි­ත්‍යය අව­ශ්‍යයි. අපිට ඉතා­මත් ඛේද­නීය සහ තව­මත් සොයා­ගත නොහැකි අතී­ත­යක් තිබෙ­නවා. මම තව­මත් කල්පනා කර­නවා මැති­ව­ර­ණ­යක් වෙනු­වෙන් පුස්ත­කා­ල­යක් ගිනි තියන්නේ කොහො­මද කියලා. මැති­ව­ර­ණ­ය­කදී, මැති­ව­රණ කාර්යා­ල­යක් ගිනි තියන එක අපිට තේරු­ම්ගන්න පුළු­වන්. හැබැයි මැති­ව­ර­ණ­ය­කදී පුස්ත­කා­ල­යක් ගිනි තියන්නේ ඇයි?

අපේ උතුරේ ජන­තාව සහ පොත­පත අතර ඓන්ද්‍රීය සබ­ඳ­තා­වක් තිබෙ­නවා. එසේ නම් කිය­වීම ජීවන විලා­සි­තා­වක්, කිය­වීම සංස්කෘ­ති­යක් බවට පත්ක­ර­ගත් ජන­තා­වක්, පුස්ත­කා­ල­යට පාව­හන් ගලවා යන ජන­තා­වක්, රිද­වී­මට තිබෙන හොඳම තැන පුස්ත­කා­ලය ගිනි තැබී­මයි. එවැනි ඉතා­මත් බිහි­සුණු ඛේද­වා­ච­ක­යන්ට අපේ සමා­ජය මුහුණ දී තිබෙ­නවා.

ඒ නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපේ සියලු ජන­තාව සහෝ­ද­ර­ත්ව­යෙන් ජීවත් වන රටක් අපිට අව­ශ්‍යයි. මා දන්නවා අපි තව­මත් මුළු­ම­නින්ම ගැටලු විස­ඳා­ගෙන නොමැති බව. ගැටලු විසඳා ගැනීම සඳහා තව­දු­ර­ටත් යා යුතු බව. එහෙත් ජාතික සම­ගිය වෙනු­වෙන් අපි ශක්ති­මත් පිය­ව­රක් තබා තිබෙ­නවා. මේ තබන ලද පිය­වර කිසි­සේත්ම ආපසු නොගන්නා බවට මම ඔබට සහ­තික වෙනවා. අපේ රටේ යළි කිසිදු ජාති­වා­ද­ය­කට හෝ අන්ත­වා­ද­ය­කට ඉඩ දෙන්නේ නැහැ.

අපේ පර­ම්ප­රාව යුද්ධ කර­ගත්තා. නමුත් අපේ දරු­වන්ට අපි එම තත්ත්වය උදා නොකළ යුතුයි. සියලු දෙනා සහෝ­ද­ර­ත්ව­යෙන් ජීවත් වන රටක් අපිට අව­ශ්‍යයි. මේ බෙදීම්, ඈත් කිරීම අපිව දශක ගණ­නා­වක් ඈතට ගෙන යනවා. බෙදීමේ ඉති­හා­සය දිගයි. ඒ නිසා එකතු වීම වෙනු­වෙන් පිය­වර කිහි­ප­යක් ඉදි­රි­යට යා යුතුයි. පළමු කොටම අනෙ­කාගේ සංස්කෘ­තිය පිළි­ගැ­නීම සහ ගෞරව කිරීම අව­ශ්‍යයි.

සිංහල ජන­තා­වට තම­න්ගේම අන­න්‍ය­තා­වක් සහ සංස්කෘ­ති­යක් තිබෙ­නවා. දෙමළ ජන­තා­වට තමන්ට අනන්‍ය සංස්කෘ­ති­යක් තිබෙ­නවා. මුස්ලිම් ජන­තා­ව­ටත් තම­න්ටම අනන්‍ය වූ සංස්කෘ­ති­යක් තිබෙ­නවා. සෑම සංස්කෘ­ති­යක්ම ගෞර­ව­නීය පිළි­ගැ­නී­මට භාජ­නය කරන සමා­ජ­යක් අපිට අව­ශ්‍යයි.

මේ මොහොතේ මට සම්බ­න්දන් මහ­ත්මයා මතක් වෙනවා. එතුමා එක අව­ස්ථා­වක මට කිව්වා “අනුර, මම කැමැ­තියි ශ්‍රී ලාංකි­ක­යෙක් කියලා ලෝක­යට හඬගා කියන්න. ඒත් මම කැමැති නැහැ දෙවැනි පුර­වැ­සි­යෙක් ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න.” කවර හෝ ජන කණ්ඩා­ය­ම­කට දැනෙ­නවා නම්, තමන් මේ රටේ දෙවැනි පුර­වැ­සි­යන් කියලා එය මනින්නේ මම නෙවෙයි, ඒ මනින්නේ ඔබයි. මම ඔබගේ විනි­ශ්ච­ය­ක­රුවා නොවෙයි. ඔබ ඒත්තු ගන්වා­ගත යුතුයි ඔබ මේ රටේ සියලු අයි­ති­වා­සි­කම් සහිත පුර­වැ­සි­යෙක් බව.

ඒ නිසා අපේ රටේ ඉප­දෙන, ආර්ථි­ක­යට දායක වන, මහ­පො­ළො­වට පස් වන සියලු දෙනාට හැඟී­මක් ඇති විය යුතුයි, මේක අපේ මාතෘ භූමිය කියලා. එසේ නැති වුව­හොත් අපිට ජාතික සම­ගිය නිර්මා­ණය කළ නොහැ­කියි. ඒ නිසා මේ කාර්යය ඉටු කිරී­මේදී සාහි­ත්‍ය­යට, කලා­වට, ක්‍රීඩා­වට, අධ්‍යා­ප­න­යට වගේම දේශ­පා­ල­න­යට විශාල වැඩ කොට­සක් තිබෙ­නවා.

ඉති­හා­සය පුරා පැව­තුණේ බෙදුණු දේශ­පා­ල­න­යක්. අයි­ති­වා­සි­කම් උත්ක­ර්ෂ­යට නංවා ඒ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් සටන් කළ දේශ­පා­ල­න­යක්. අනෙ­කාට එරෙ­හිව මත­වාද අවු­ස්සන දේශ­පා­ල­න­යක්.

අපිට අවශ්‍ය බෙදුණු දේශ­පා­ල­න­යක් නොවෙයි. උතුර, නැඟෙ­න­හිර, බට­හිර භේද­ය­කින් තොරව එකතු වුණු දේශ­පා­ල­න­යක්. මේ ජාති­වාදි විෂ­බී­ජය තිබෙන්නේ දේශ­පා­ල­නය තුළයි. ජාති­වා­දය පරා­ජ­යට පත් කිරී­මට නීති ප්‍රමා­ණ­වත් නොමැ­ති­නම් නව නීති සකස් කර හෝ ජාති­වා­දය පරා­ජය කර­නවා.

අද අපි රට තුළ ඉතා වැද­ගත් පරි­ව­ර්ත­න­යක් සිදු කර­මින් තිබෙ­නවා. එම පරි­ව­ර්ත­නය මේ රටේ ජන­තා­වට විශාල ජය­ග්‍ර­හ­ණය ගෙනත් දෙයි. අපේ සිහි­න­යක් තිබෙ­නවා, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන­තාව එකට ජීව­ත්වන සමා­ජ­යක්. ඒ වෙනු­වෙන් කලාවේ සහ සාහි­ත්‍යයේ විශාල ප්‍රබෝ­ධ­යක් අව­ශ්‍යයි.

කම්බන් රාමා­ය­ණයේ ඇති යහ­පත් දිවි­පැ­වැත්ම අපේ ජීවි­ත­ව­ලට අපි ඇතුළු කර­ගත යුතුයි. එහි රසා­ස්වා­දය අපේ ජීවි­ත­ව­ලට ඇතු­ළත් කර­ග­නිමු. හුදු යාන්ත්‍රික සත්ත්ව­යෙක්ගේ සිට මිනි­සෙක් බවට අපි පරි­ව­ර්ත­නය විය යුතුයි. අපි හුස්ම ගත්තත්, කතා කළත් මනු­ෂ්‍ය­ත්වය ගිලිහී තිබෙ­නවා. ඒ නිසා යළි මනු­ෂ්‍ය­ත්වය පෙරටු කර­ගත් නව සමා­ජ­යක් නිර්මා­ණය කිරී­මේදී සාහිත්‍ය උත්ස­ව­යන්ට ඉතා වැද­ගත් අව­ස්ථා­වක් තිබෙ­නවා. ඒ නිසා මෙම අව­ස්ථාව සංවි­ධා­නය කිරීම පිළි­බඳ කම්බන් කලා­ගම් සංවි­ධා­නයේ සියලු දෙනාට මම බෙහෙ­වින් ස්තූති­වන්ත වෙනවා.

අපිට අවශ්‍ය ශක්ති­මත් දෙමළ ශ්‍රී ලාංකේය සාහි­ත්‍ය­යක්. ඒ වගේම ශක්ති­මත් කවීන්, චිත්‍ර­ප­ට­ක­රු­වන් අව­ශ්‍යයි. ශ්‍රී ලංකාවේ දෙමළ කලාවේ හා සංස්කෘ­තියේ විශාල ප්‍රබෝ­ධ­යක් අව­ශ්‍යයි. ඒ වෙනු­වෙන් කවර හෝ සංවි­ධා­න­යක්, සංග­ම­යක් තිබෙ­නවා නම්, අපේ රජය ලෙස ඒ වෙනු­වෙන් උප­රිම සහය ලබා­දෙ­නවා.”

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
අවකාශය පුවත්