
කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරික හා මානසික දණ්ඩනය ළමයෙකුගේ පෞරුෂත්වයට දැඩි බලපෑම් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය මේ බව සඳහන් කළේ අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩයකදීය.
ළමයින් විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකර ඇති පර්යේෂණ මගින් එවැනි ක්‍රියාකාරකම් ළමයින්ගේ මානසික හා සමාජීය වර්ධනයට අහිතකර ලෙස බලපාන බව නිශ්චිතව තහවුරු වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළාය.
දශක ගණනාවක් තිස්සේ දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් විසින් ළමයින් හික්මවීම සඳහා විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිතා කර ඇති අතර, ඒ හේතුවෙන් නිවස තුළදී හෝ පාසල් පරිසරය තුළදී ශාරීරික දඬුවම් ලබාදීම සමාජීය හා සංස්කෘතික වශයෙන් සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
1989 දී සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 19 වන වගන්තිය අනුව ළමුන්ට සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම්වලින් ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය පැහැදිලිව සදහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව 1990 වසරේ සිට එම සම්මුතියට අත්සන් තැබීම මගින් ජාත්‍යන්තර වශයෙන් බැඳී සිටින බවද ඇය අවධාරණය කළාය.
එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් කිසිදු පුද්ගලයෙකුට කෲර, අමානුෂික හෝ අගෞරවනීය ලෙස සැලකීමකට හෝ දඬුවමකට ලක් නොවී සිටීමට මූලික අයිතිවාසිකමක් ලබා දී ඇති බවද සඳහන් වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 308(අ) වගන්තිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති පාසල් විනය පිළිබඳ 12/2016 සහ 11/2026 චක්‍රලේඛ මගින්ද ළමුන් හික්මවීම සඳහා ශාරීරික හෝ මානසික හිංසනය කිසිසේත් භාවිතා නොකළ යුතු බව සඳහන් කර ඇත.
තවද, ළමුන් සඳහා සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් 2024 වසරේ බොගෝටාහි පැවැති අමාත්‍යවරුන්ගේ පළමු ලෝක සම්මේලනයේදී ළමුන් හික්මවීම සඳහා යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශේෂ පොරොන්දුවක් ද ලබා දී ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.
එමෙන්ම, ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදුකරන ශාරීරික අපයෝජනයක් බවද එම අධිකාරිය අවධාරණය කරයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි වර්ගය ලෙස ශාරීරික හිංසනය සම්බන්ධ පැමිණිලි සඳහන් වන අතර, වාර්ෂිකව 2000 සිට 2500 අතර ශාරීරික දණ්ඩනය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය
