ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කරයි!

කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඊයේ (30) කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා භාරදෙන ලදී.

අධිචෝදනා කියවා දීමෙන් අනතුරුව නඩුව පූර්ව විභාගයට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත විත්තිකරු මුදාහැරීමට නියෝග කළේය. එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සටහන් ගෙන පෙර වැරදි පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කෙරිණි.

මෙම නඩුව මුලින්ම කැඳවීම සිදු වූයේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේය. කෙසේ වෙතත්, 2018 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ නඩුවකට අදාළව විත්තිකරු වැරැදිකරු කර තිබූ බැවින්, මෙම නඩුව වෙනත් විනිසුරුවරයෙකු වෙත යොමු කරන බව ඔහු දැනුම් දුන්නේය.

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත යොමු කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ‘ජාතික බල සේනා’ සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී, ඉස්ලාම් ආගමට හා එහි ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශ කිරීම මත මෙම නඩුව පවරා ඇත. එම චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ 219 (ආ) වගන්තිය යටතේ ගොනු කර තිබේ.

මෙම සිද්ධිය 1994 වසරේ අප්‍රේල් 12 වන දින කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේදී සිදුව ඇති බව සඳහන් වන අතර, නීතිපති උපදෙස් ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් නඩු පැවරීම ප්‍රමාද වී තිබූ බවද අධිකරණයේදී අනාවරණය විය.

නඩු භාණ්ඩ ලෙස එම අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් ලබාගත් වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක්, මොරටුව විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද වෝහාරික වාර්තාවක් සහ මුස්ලිම් කටයුතු හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් 2014 වසරේ ජූලි 4 දින නිකුත් කළ ලිපියක්ද නම් කර තිබේ.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් මහතා විසින් කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව පවරා ඇති අතර, නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස ඔහුට මීළඟ නඩු දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

මීට පෙර, ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 2024 වසරේදී කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම කළ අතර, පසුව ජනාධිපති සමාව හිමිවීම හේතුවෙන් ඔහු නිදහස් කෙරුණි.

රජයේ අධිනීතිඥ ඉමංසී සෙනරත් මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා පෙනී සිටියේය.

Social Sharing
නවතම පුවත්