දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් සහ ඥාති නිවාසවල ජීවත් වන පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පූර්ණ නිවාස හානි 6,088 ක් සහ අර්ධ නිවාස හානි 115,179ක් වාර්තා වී ඇති අතර, මෙම පවුල් අතරින් මෙම වසරේ අප්‍රේල් 22 වන විට පවුල් 494 ක් දිස්ත්‍රික්ක හතරක සුරක්ෂිත මධ්‍යස්ථාන 20 ක් තුළ රැඳී සිටින බවට වාර්තා වේ.

තවද තවත් පවුල් කිහිපයක් කූඩාරම් සහ ඥාති නිවාසවල රැඳී සිටින බව ද සඳහන් වනවා.

නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත නව නිවසක් ඉදිකර ගන්නා තෙක් කුලී පදනම මත පදිංචි වීම සඳහා රුපියල් 25,000 ක මාසික දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබුණ ද, අදාළ ප්‍රදේශවලින් කුලී නිවාස සපයා ගැනීම ගැටලුවක් වී ඇති බව රජය නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ඉදිරිපත් කළ නිවාස සැලැස්මකට අනුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල සුරක්ෂිත මධ්‍යස්ථාන හා තාවකාලික ස්ථානවල පදිංචි පවුල් 1,000 ක් වෙනුවෙන් අන්තර්කාලීන නිවාස ඉදිකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වී තිබෙනවා.

Social Sharing
නවතම පුවත්