රැඳවියා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට!

ඊයේ දින මැගසින් බන්ධානාගාරයේ රැඳවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජේලර්වරයකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණය සිදු කෙරෙන බවයි.

ඊයේ (27) උදෑසන මැගසින් බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිදුවීමකින් රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර එහි දී තුවාල ලැබූ එක් රැඳවියෙකු මේ අයුරින් මියගොස් තිබේ.

ඒ අනුව මියගිය පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත බන්ධනාගාර ගත ව සිටි රැඳවියෙක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත. වාර්තාවන අන්දමට මැගසින් බන්ධනාගාරයේ සිරමැදිරි දෙකක සිටි රැඳවියන් දෙදෙනෙකු තම සිර මැදිරි වලින් මාරු වී අනෙක් සිර මැදිරිවලට යාමට උත්සාහ කිරීමක් සිදු වී ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරියෙකු මැදිහත් වූ අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවී ඇති බවයි. ඒ අනුව එම රැඳවියන් දෙදෙනා නියාමකවරයාට පහර දී අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම්බන්ධ වූ පාර්ශ්වයන්ට තුවාල සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව බොරැල්ල පොලිසිය විසින් ද මේ සම්බන්ධයෙන් වෙනම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්