
මෙරට මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මස පළමු වන දා වන විට ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 281කට, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 329කට, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 182කට අලෙවි වූ අතර, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 340කට සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 293කට මිල නියම කර තිබිණි.
එසේ මිල නියම කර තිබූ ඉන්ධන මිල මාර්තු 09 වැනිදා රාත්‍රීයේ සිට නැවත සංශෝධනයට ලක් වූ අතර ඉන් සියලු ඉන්ධන මිල ගණන් ඉහළ ගියේ ය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 22කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 24කින්, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 25කින් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 24කින් මිල ඉහළ දැමී ය.
එම මිල ඉහළ දැමීමෙන් දින 12කට පමණ පසුව මාර්තු 21 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබී ය. එවර මිල වැඩිවීමේදී ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 79කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 90කින්, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 90කින් සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 81කින් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළේ ය.
මෙම මිල සංශෝධනයේදී මෙරට ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහරින සමාගම් ලංකා සුපිරි ඩීසල් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 මිල මෙම ප්‍රමාණයටත් වඩා ඉහළ දමනු ලැබී ය.
මේ අතර, පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් ඉන්ධන මත පනවා ඇති බදු සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා විස්තර කළේ ය. ඔහු පැවසූ පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 115ක බදු මුදලක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 143ක බදු මුදලක් සහ ඩීසල් සඳහා රුපියල් 91ක බද්දක් අය කරනු ලබයි.
කෙසේ වෙතත්, මාර්තු 22 වන දා පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ, මාර්තු මාසය තුළ දෙවන වරටත් ඉන්ධන මිල වැඩි කරනු ලැබුව ද, ඉන්ධන ලැබෙන මිලට වඩා අඩුවෙන් අලෙවි කිරීම තුළින් පාඩුවක් සිදුවන බව ය.
ඉන්ධන මිල ඉහළ යාම මෙරටට පමණක් අවේණික නොවන කරුණක් බවත් විදෙස් රටවල ඉන්ධන මිල ද යුද්ධය හමුවේ ඉහළ ගොස් ඇති බව විවිධ අවස්ථාවල දී රජය බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවට පසුගිය දා යුරෝපා සංගමය නිවේදනය කළේ ය.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රජය, ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කර බදු අඩු කර ඉන්ධන මිලට සහනයක් ලබා දීමට කටයුතු කිරීම සුදුසු බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ බලශක්ති මිල ඉහළ යාම සමස්ත ආර්ථිකය කඩා වැටීමට හේතුවක් විය හැකි බැවින් ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී සංවේදීව කටයුතු කළ යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය අවම කර ගැනීමේ කොන්දේසි මත ඉන්ධන මත බදු පනවා ඇති බැවින් එය සංශෝධනය කිරීම කළහොත් එය එම කොන්දේසි කඩ කිරීමක් වන බව ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැහැදිලි කළේ ය.
එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් ඉන්ධන මත පනවා ඇති බදු අඩු කළ හැකි වනු ඇතැයි මහාචාර්යවරයා විශ්වාසය පළ කළේ ය.
එමෙන් ම, අනෙකුත් රටවලට වඩා ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත්තේ අඩු ප්‍රතිශතයකින් යන කාරණය පිළිබඳව ඇතැමුන් මතු කරන මතය සම්බන්ධයෙන් ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අදහස් පළ කළේ ය.
“ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ නිරපේක්ෂ සංඛ්‍යා ලේඛන නෙමෙයි සාපේකෂව. නිරපේක්ෂව ගත්තා ම අපිට කියන්න පුළුවන් අපේ මිල වැඩි වුණේ 30% යි අර කට්ටියගේ 40% යි කියලා. නමුත් අපි සංසන්දනය කරන්නේ නැහැනේ අපේ ආදායමත් එක්ක. අපි ආදායමත් එක්ක සංසන්දනය කරපුවාම පෙට්‍රල් ලීටරයකට ගෙවන ගාණ ඉතා ම විශාල යි.”
“ශ්‍රී ලංකාව කියන්නේ ලංකාව, ඒක ඉන්දියාවටවත් කොහෙටවත් සංසන්දය කරන්න බැහැ. අපි බලන්න ඕනේ අපේ ආදායමට සාපේක්ෂව වියදම දරන්න පුළුවන් ද කියන එක. එහෙම නම් බලන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ කෙනෙක්ගේ ආදායමෙන් සීයයට කීයක් ප්‍රවාහනය සඳහා වියදම් කරනවා ද. ඒක අපිට සාපේක්ෂව ගන්න පුළුවන් එහෙම නැතුව පෙට්‍රල් වැඩි වුණේ මෙච්චරයි කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි,” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කර ඇත.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාර්තු 24 වන දා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ “බද්දට වඩා වැඩියි අපි දීපු ගාණ. ඩීසල්වලට රුපියල් 50යි බද්දක් ගහන්නේ, අපි රුපියල් 100ක් මේ වෙනුවෙන් යොදවලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඒ බද්ද අරගෙන කරන්නේ භාණ්ඩාගරයට තිබුණ ණයක් ගෙවන එක,” යනුවෙනි.
කෙසේ නමුත්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන බදු සහ අමාත්‍යවරයා පවසන බදු අතර පරස්පරතාවක් දක්නට තිබේ. එමෙන් ම ඉදිරියේදී මුදල් අමාත්‍යංශ හරහා තෝරා ගත් කණ්ඩායම් සහ ලැබිය යුතු පුද්ගලයින්ට ඉන්ධන සහනාධාර ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බව ද ඔහු කියා සිටියේ ය. රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමතිවරයා මෙරටට පැමිණීමට නියමිත බැවින් දැනට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සිදුකරන සාකච්ඡා එහිදී විධිමත් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙනි.
