නීතිඥයන්ගේ සහ මහජන ආරක්ෂාව පිළිබඳව විපක්ෂයෙන් ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක්

ශ්‍රී ලංකාවේ නීතිඥයන් සහ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතුව ඇති බව පෙන්වා දෙමින්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ජාත්‍යන්තර වෘත්තීය සහ මානව හිමිකම් සංවිධාන වෙත ලිපියක් යොමු කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාඨලි චම්පික රණවක, ජිවන් තොණ්ඩමන්, නිමල් සිරිපාල ද සිල්වා, අසංක නවරත්න සහ දිලිත් ජයවීර ඇතුළු විපක්ෂ නායකයින්ගේ අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇත.

එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ, මෑතකදී සිදු වූ වෙඩි තැබීම් සහ ඝාතන මාලාව හේතුවෙන් සමාජය තුළ බිය සහ කම්පනයක් ඇති වී ඇති බවයි. විශේෂයෙන් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය ඝාතනයට ලක්වීමෙන් පසු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය උසාවි කටයුතු වලින් ඉවත් වෙමින් විරෝධතාව පළ කළ බවද එහි සඳහන් වේ.

මීට අමතරව, නීතිඥයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රහාර, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට ඇති බලපෑම්, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන වැනි කරුණු රැසක් පිළිබඳවද මෙම ලිපිය මඟින් අවධානය යොමු කර ඇත.

දශක ගණනාවක් පුරා ආරක්ෂා කරගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහා සුදුසු ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය බවද එම ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම ලිපිය ජාත්‍යන්තර නීතිඥ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම, තරුණ නීතිඥයන්ගේ ජාත්‍යන්තර සංගමය, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නීතිඥ සංගමය, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
නවතම පුවත්