
හබරාදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින්, තම පවුලට එරෙහිව හබරාදූව පොලිසියෙන් අමානුෂික පහරදීම්, ව්‍යාජ නඩු පැවරීම් සහ තර්ජන සිදු වන බවට චෝදනා කරයි.
ඇය පවසන්නේ, 2025 ජනවාරි මාසයේදී හබරාදුව පොලිසියට එරෙහිව SCFR/01/25 අංකය යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමෙන් පසු, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය විසින් විවිධ ආකාරයෙන් බලපෑම් කළ බවයි. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තම පවුලට තර්ජන සහ හිරිහැර සිදුවන බවද ඇය සඳහන් කරයි.
ඒ අනුව 2026 මාර්තු 17 වන දින, සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම නිවසට පිටුපසින් ඇතුල් වී, මෙම කාන්තාවගේ දෙවන පුත්‍රයා වන ෂෙහාන් ගයන්ත අත්අඩංගුවට ගනිමින් අතින් හා පයින් පහර දුන් බවට ඇය චෝදනා කරයි. එම අවස්ථාවේදී ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටද මෙම සිවිල් පොලිස් නිලධාරීන් පහරදී ඇති බව වාර්තා වේ
තවද, නිවසේ නාන කාමරය තුළ තිබූ බව පවසමින් මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන ද්‍රව්‍යයක් පෙන්වා, ව්‍යාජ චෝදනා එල්ල කිරීමට උත්සාහ කළ බවත් ඇය සඳහන් කරන අතර ඇය එහිදී ඒ සඳහා විරෝධය පළ කරමින් වීඩියෝ කිරීමට උත්සාහ කළ විට, පොලිස් නිලධාරීන් විසින් ඇයටද පහරදී, ඇයගේ ජංගම දුරකථනය උදුරා ගෙන ඇති අතර ඇයට සිදුකළ පහර දීම් හමුවේ ඇයගේ දත් වලට හානි සිදු වුණු බවට ඇය පවසා සිටියාය. මෙම අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇයගේ නිවසේ සිටි බවත් ඇය මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට උත්සහ කර ඇති අතර අදාළ කාන්තාව නිවසෙන් පැන ගොස් සැඟවුණු බව ද සඳහන් කර සිටියාය.
ඒ අනුව පහර කෑමෙන් පසු ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉදිරිපස දතක් කැඩී ඇති බවත්, කකුලට ශල්‍යකර්මයක්ද සිදු කළ බවත් ඇය සඳහන් කර සිටියි.
ඒ අතර, 2026 මාර්තු 18 දින ෂෙහාන් ගයන්ත අධිකරණයට ඉදිරිපත් කර දින තුනක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති අතර, ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබූ බවට චෝදනා එල්ල කර ඇත. එමෙන්ම ඔහු සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ මිතුරන් දෙදෙනාට ද මත්ද්‍රව්‍ය චෝදනා යටතේ නඩු පවරා බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබූ බවට මෙම පවුල ප්‍රකාශ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ එහි මාතර කාර්යාලයට පැමිණිලි කර ඇති අතර, පොලිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තමන්ගේ ජීවිතය හා පවුලේ ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති බවද ඇය අවධාරණය කරයි.
තවද, මෙම ක්‍රියාවලිය මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට බල කිරීමේ අරමුණින් සිදු කරන පලිගැනීමක් බවට ඇය චෝදනා කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
