
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රකාශයට පත්කරන ලද එහි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති අහෝසි කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. එහෙත්, එය ඉටු නොකරන ලද පොරොන්දුවකි.
මින් පෙර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. 2022 අරගලයෙන් පසුව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ද එම නීතිය භාවිතා වූයේ අල්ප වශයෙනි.
එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතාවට ගත් අවස්ථා සංඛ්‍යාව දුසිමකට අධිකය. තවමත් පුද්ගලයන් දහයක් පමණ අලුතෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියි.
නඳුන් චින්තක හෙවත් හරක් කටා යන මත්ද්‍රව්‍ය හා අපරාධ චෝදනා ලැබූ පුද්ගලයා ද අත්අඩංගුවේ තබාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
නඳුන් චින්තක මේ වනවිට වසරක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝග (9(1) වගන්තිය) යටතේ ද,වසර 1යි මාස 5ක් මහාධිකරණයේ අංක 4834/24 දරණ නඩුවට අදාලව 15 a(1) වගන්තිය යටතේ ද රඳවා තබාගෙන සිටියි. පසුව කී වගන්තිය අනුව, “නඩු විභාගය අවසන් වනතුරු රැඳවුම් බාරයට පත්කිරීමට” ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇති බලතල අනුව, 2024 මාර්තු 11 දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් අත්සන් කරන ලද නියෝගයට අනුව නඳුන් චින්තක මේ වනතෙක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවාගෙන සිටී.
එහෙත්, මේ වන විට HC 4834/24 නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයක් මතු වී ඇති බව නඳුන් චින්තක වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු පවසති. ඒ අනුව, 2025 අගෝස්තු 5 දින නඩුව අවසන් කිරීමට ඉඩ තිබෙන අතර, ඒ වෙනුවට අලුත් නඩුවක් පැවරීමට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව, හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වන කමල් ගුණරත්න කළා සේම නව රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ද ලබන අද දින (08/04) ඉහත කී 5447/25 අංක දරන බව වාර්තා වෙන නව නඩුව ට අදාළව නඩු විභාගය අවසන් වනතුරු රැදවුම් භාරයට පත්කිරීමේ 15a(1) නියෝගයට අත්සන් තබන්නට නියමිත බව වාර්තා වේ.
මෙම පුද්ගලයා ඉහත කී රැඳවුම් නියෝග දෙක යටතේ මේ වනවිට රඳවා සිටින මුළු කාලය වසර 2යි මාස 5ක් වේ.ඉන් වසර 1යි මාස 5ක්ම ඔහුව තනිවම තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටි අතර ඔහු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියකට අධික වියදමක් දරමින් නිලධාරීන් 87 දෙනකු සේවයේ යොදවමින් රඳවා සිටින බව වාර්තා වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමට 15a(1) රැඳවුම් නියෝගය කිසි සේත්ම අවශ්‍ය නොවන බව නීතීඥවරු පෙන්වා දෙති.
නඳුන් චින්තකගේ ජීවිතය බේරාදීම සඳහා අල්ලස් ලෙස කෝටි ගණනක් බලවත් පුද්ගලයන් ලබාගත් බවට චෝදනා එල්ලවේ..
