උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි.

උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා බලෙන් අතුරුදහන් කරන ලද තම ඥාතියා සොයා දෙන ලෙස ඉල්ලා අරගල කරමින් සිටින බවත් මේ අරගලයේ නිරත වු පුද්ගලයින් 56 කු දැනට මිය ගොස් ඇතත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියි.

එදා යුද්ධය අවසන් විමෙන් පසු සිය ස්වාමියාව, දරුවාව, සහෝදරයාව රජයට භාර දුන් ජනතාව මේ අරගලයේ යෙදී සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සිංහල ජනතාවට තමන්ගේ අනන්‍යතාව සමඟ ජීවත් වනවා මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවටත් ඔවුන්ගේ අනන්‍යතාව සමඟ ජීවත් වීමට ඉඩ ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම උතුරු පළාත් සභාව තවදුරටත් කල් තැබීම සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ මීට දෙමළ ජාතික සන්ධානය පැත්තෙනුත් වැරදි සිදු වී ඇති බවය.

උතුරු පළාත් සභාවේ කාලය අවසන් වුයේ යහපාලන රජය සමයේ වන බවත් එහිදී මේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට එවකට දෙමළ ජාතික සන්ධානයට රජයට බල කිරීමට තිබු බවද ඔහු පෙන්වා දෙයි. දැනට තේරී පත් වු සභාවක් උතුරේ නොමැති නිසා මේ වන විට එහි කටයුතු මධ්‍යම රජයේ සෘජු අධීක්ෂණයට නතුව තිබෙන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) දින දකුණේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම