ජාතික රූපවාහීනිය පාඩු ලබයි –  ජනමාධ්‍ය ඇමති කියයි.

මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස මෙය ලැබුණි.

ජාතික අනන්‍යතාවය රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනී නාලිකාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟ‍ා කරවීමට බලාපොරොත්තු වන බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී නතර කොට තිබූ විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයෙන් බදු අය කිරීම නැවතත් 2021 පෙබරවාරි මස සිට ආරම්භ කර ඇති බවත් එමගින් මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එසේ අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රටේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් පැය 16ක් පුරා රූපවාහිනිය මගින් විකාශය කිරීම වෙනුවෙන් වැය කෙරෙන මුදල මසකට මිලියන 22ක් වන නමුත් ඒ සඳහා ලැබෙනුයේ මිලියන 04ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ වගකීම නිසි පරිදි ඉටු කරන බවත් පැවසීය.

රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සහ දැනට ක්‍රියාත්මක වන සියළුම ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරිමටත්,  පුවත්පත් මණ්ඩල පනත සියළුම මාධ්‍යන්ට අදාල වන පරිදි මාධ්‍ය මණ්ඩල පනත වශයන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මිලියන 22 ක ජනතාව වෙනුවෙන් සිය අමාත්‍යාශයේ වගකීම ඉටු කරන බවත් පැවසීය.

-ශානි-

Social Sharing
නවතම