දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ ඝාතනයට ලක්වූ  භාරත ලක්ෂමන්ගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසිනි.

පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ ඉකුත් 24 වැනිදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, එලෙස සමාව දීමට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පුර්ණ පරීක්ෂණයක් කරන ලෙසත්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ  වෘත්තීය සමිති උපදේශක වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුට 2011 ඔක්තෝම්බර් 08 වැනිදා කොලොන්නාවේදී වෙඩි තබා මරා දැමීමට වරදකරු කළ කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ බවත්, පසුව එම දඩුවම  ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කළ බවත්, පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිය පෙත්සමෙන් දන්වා තිබේ.

රටේ  ඉහළම අධිකරණයෙන් දුමින්ද සිල්වාගේ මරණ දඩුවම තහවුරු කර තිබියදී, ඔහුට ජනාධිපති සමාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමෙන් තොරව බව ද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය පෙත්සම මගින් දන්වා සිටියාය.

අධිකරණයක් මගින් දඩුවම් නියම කරනු ලබන ඕනෑම පුද්ගලයකු මුදාහැරීමේ අභිමතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයාට ඇතත්, එය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවරා ඇති නීතිමය ක්‍රියාදාමයට අනුව  කටයුතු කිරීමෙන් පමණක් බව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමෙන් පසු  ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.

වත්මන් ජනාධිපති ආරක්ෂක ලේකම් වරයා ලෙස රාජකාරි කළ සමයේ ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ දුමින්ද සිල්වාය.

ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස  ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා පත් කරනු ලැබිණි.

Social Sharing
නවතම