අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා  හදිසි මරණ පරික්ෂකවරුන්ට ගැටලු! 

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා මරණ පරික්ෂකවරුන්ට සිය වෘත්තිමය කටයුතු නිවැරදි අන්දමින් සිදුකිරීමේදි බරපතල ගැටළු ඇතිවී තිබෙනා බව ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරාධපුර හිටපු නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම් කුලසේකර මහතා පවසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා මාධ්‍යට ප්‍රකාශ ලබාදුන් බවට චෝදනා කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරින් ඒ මහතාගේ නියෝග වලට පශ්චාත් මරණ පරික්ෂණ නොකිරීම නිසා ඇතිවි තිබෙන ගැටුම්කාර තත්වය හේතුවෙන් ජනතාව පවත්ව සිටින අපහසුතාව පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් හිටපු සභාපති එච්.එම් කුලසේකර මහතා (17දා) මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් කථා කළ කුලසේකර මහතා.

“මම නිවැරදි ආකාරයට රාජකාරි කටයුතු සිදුකිරීම නිසා අවස්ථා ගණනාවකදිම අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ කරුණාතිලක මහතා මගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකළා.

මට අන්තිමට ඔහු ළග බැගෑපත්වි නැවත රාජකාරි කටයුතු සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ ලබාගන්න සිදුවුණා.මට රාජකාරි අවධියේ ආපු බරපතලම ගැටළුව තමයි මම මාධ්‍යට තොරතුරු දෙනවා කියන එක.

මාධ්‍යට තොරතුරු ලැබීම අපි කාටවත් නවත්වන්න බෑ. අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඇතැම් නිලධාරින් මාධ්‍යට තොරතුරු  යනවට පුදුම බයක් තියෙන්නේ. මාධ්‍යට බයවෙන්න හේතුවක් තියෙන්න ඕන. වැරදි වැඩ කරන මිනිස්සු මාධ්‍යට බයයි.

අපි රාජකාරි කරද්දි අපෙන් මාධ්‍යවේදින් ඇ.තැම් ප්‍රශ්න වලට පිළිතුරු විමසනවා. ඒ අවස්ථාව වලදි එහෙම දෙයක් වෙලා තියනවා නම් අපි ඒක තහවුරු කරනවා. නැත්නම් නෑ කියනවා.

මා පිළිබදව බොරු තොරතුරු මහේස්ත්‍රාත්තුමන්ලාට ලබාදෙමින් මාගේ සේවා දිගු නිර්දේශයන් ලබා නොදීමට අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළා. අපිට ඊට කරුණු දැක්වීමටවත් අවස්ථාවක් ලබාදුන්නේ නෑ.

ඔවුන් ඔවුන්ට අවශ්‍ය වැරදි වැඩ වලට අපි සහය දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් කරන හරි වැරදි සියල්ලටම වෛද්‍ය සංගමය ඉදිරියට දාලා අනිත් වෘත්තීන්ට අභියෝග කරනවා. මටත් වර්ථමාන හදිසි මරණ පරික්ෂකවරයාට සිදුකරන තාඩනය පීඩනයම ඔවුන් සිදුකළා.

වර්ථමාන හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහත්තයා මාධ්‍යට ප්‍රකාශ දුන්නා කියන්නේ රුපියල් 2000ක මුදලක් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සුළු සේවකයෙකු අල්ලස් ලබාගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි තිබෙනවද යන්න විමසීමේදී ඒ මහතා ඔව් කියපු වචනයට.

මම දැක්කා තවත් සිද්ධියකට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සොයා බලන්නම් කියලා තියනවා. සුළු සේවකයන් කරන වැරදි සම්බන්ධයෙන් වෛද්‍යවරු ඇයි කිපිලා කැලබිලා බයවෙලා තියෙන්නේ. මට නිවැරදිව රාජකාරි කරන්න දුන්නේම නෑ. සමහර වෛද්‍යවරු අපි පැය 24 රාජකාරි කරනවාට කැමති නෑ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයෙක් ඉන්නවා එයා හතර වෙද්දි වැඩ ඉවරයි සවස කිසිම වැඩක් කරන්නේ නෑ. ඔහුට ඩිස්පැන්සරියට යන්න තියන නිසා. තවත් වෛද්‍යවරයෙක් ඉන්නවා ඔහු සවස හතරට තමයි පශ්චාත් මරණ පරික්ෂණ ආරම්භ කරන්නේ.

මනුස්සයෙක් මිය ගියාම පැය 36-48 යනවා මරණය ගන්න. අපිට අධිකරණ අමාත්‍යංශය හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇති කරුණු වලට අනුව කටයුතු කරන්න දෙන්නෑ.

අපිට පුළුවන් සමහර මරණ වලට හේතුව මොකක්ද කියලා නිගමනය කරලා නිවසින් මරණය අවසන් කටයුතු සදහා දෙන්න. නමුත් වෛද්‍යවරු තර්ජනය කරනවා මරණය පශ්චාත් මරණ පරික්ෂණය කරලාම දෙන්න ඕන කියලා. නැත්නම් අපිට බොරු චෝදනා දාලා පෙත්සම් ගහනවා.

ඔවුන් ඔවුන්ගේ විෂය පථයට අනුව කටයුතු කරන්න ඕන. අපි අපේ විෂය පතයේ කටයුතු කරනවා. මේ කටයුතු නිසා මහජනතාව තමයි අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ” යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මාධ්‍ය හමුවට එක්වු අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා.

“මම අප්‍රමාදව රාජකාරි කරන නිලධාරියෙක්. අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සුළු සේවකයෙකු විසින් රුපියල් 2000ක අල්ලසක් ලබාගැනීම පිළිබදව දමිළ බසින් දිවුරුම් ප්‍රකාශයක් හරහා පැමිණිල්ලක් ලැබුණා.

ඒක මාධ්‍යටත් ඔවුන් ලබාදිලා තියෙනවා. මේ ගැන මගෙන් විමසුවම මම මාධ්‍යට ඔව් කිවුවා. ඒක තමයි මම මාධ්‍යට ප්‍රකාශ දෙනවා කියන්නේ. මගෙන් දෙයක් ඇහුවාම මම තහවුරු කළා. අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වසර හැටක් විතර මරණ පරික්ෂකවරු වැඩ කළ කාමරයට ඇටකටු පෙට්ටි දාලා ඒක අහිමිකරා. වායුසමීකරණයේ බට කැපුවා.

කූඨ ලේඛණ එවනවා මරණ පරික්ෂණ සහතික වලට. මැරෙන්න ඉස්සර ආදාහනයට නියෝග නිකුත් කරනවා. මේවා ගැන ඇහුවම පැමිණිලිකරාම අධිකරණ වෛද්‍යවරයෙක් අධිකරණ වෛද්‍ය ඒකකය භූමියේදි ගහන්න හැදුවා. මේවා ගැන පැමිණිලිකරාට කිසිම විමර්ශනයක් නෑ” යනුවෙන් ඒ මහතා පැවසුවේය.

එහිදී කථා කළ ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා.

මේ ගැටළුව රටේ තවත් ස්ථාන කිහිපයක තියනවා. අපි කටයුතු කරන්න ඕන අධිකරණ අමාත්‍යංශය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව.

ඇත්තටම කියනවා නම් අධිකරණ වෛද්‍යවරුන් උත්සහ කරන්නේ නාගරික හදිසි මරණ පරික්ෂකවරුන් තමන්ගේ අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න. ඉදිරියටත් මේවා මේ ආකාරයට වෙනවා නම් සංගමයක් හැටියට අපිටත් පුළුවන් අවශ්‍ය වෘත්තිමය ක්‍රියා මාර්ග ගන්න යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්ෂාන් මහතා ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් රැසක් එක්ව සිටියහ.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම