හොඳටම කළේ අපි ද?

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා ඇත.

එමෙන්ම මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරන්නා සේම  නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්  ඒ අනුව ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් විශේෂ අවධානය යොමුවෙලා තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීමට යැයිද ඔහු පවසයි.

අපේ රට ලෝකයේ සංචාරකයින්ට නැවත වතාවක් විවෘත වෙනකොට ඇල්ල වැනි තවත් සංචාරක ප්‍රදේශ වල අති බහුතරයක් ඒ කියන්නේ ලක්ෂ තිහකට වැඩි පිරිසකට නැවත වතාවක් රැකියා අවස්ථා ඇති වෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ  BOI කර්මාන්තපුර වලට අනිකුත් කර්මාන්තශාලාවලට ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් විදේශ විනිමය රටට ගෙන මධ්‍යස්ථානවලට ධීවර වරායවල් වලට එන්නත් කරන කිරීම ක්‍රියාත්මක කළ බවකි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණි. එසේම චීන තානාපති කාර්යාලය විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණේ  ගතවූ දින 7 තුළ මෙරට එන්නත්කරණ වේගය ලෝකයේ පලමු තැනට පත්ව ඇති බවය.

ඔවුන් පවසනා ආකාරයට එන්නත්කරණය දැන් දිවයින පුරා සිදු වෙමින් ඇත. එය සත්‍යයකි. නමුත් මේ එන්නත්කරණයේදී පළමුවෙන්ම ලබා දුන් ඇස්ට්‍රසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබා ගත් ලක්ෂ හයකට ආසන්න පිරිසක් තවමත් දෙවැනි මාත්‍රාව නොමැතිව අවිනිශ්චිත භාවයකට පත්ව ඇත.

ඔවුන්ට දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු කාලය ඉක්ම යමින් ඇත. නුදුරු දිනකදි ජපානයෙන් මෙම එන්නත් ප්‍රමාණයක් ලැබෙන බව පැවසුවද එය ලැබෙනතුරු විශ්වාස කළ නොහැකිය. එසේ ලැබුනද පළමු මාත්‍රාව ලබා ගත් සියලුම දෙනාට දෙවැනි මාත්‍රාව හිමි වෙයිද යන්න නිශ්චිතව පැවසිය නොහැක. එදා කොවිෂිල්ඩ් ලබා ගත් අයට අද සිදුව ඇත්තේ දෙවැනි මාත්‍රාව සිඟා කෑමටය.

එසේම මෙහි වඩාත් සුවිශේෂි කරුණ වන්නේ පහුගියදා යුද හමුදාපතිවරයා පවසා තිබු දෙයකි. ඒ මේ එන්නත ලබා ගත් ලක්ෂ තුනක‌ගේ තොරතුරු නැති බවය. ඔහු පවසා තිබු ආකාරයට නම් සෞඛ්‍ය අංශ මේවා පොත්පත්වල සටහන් කර ගැනීම නිසා දත්ත ලබා ගැනීමේ ගැටලුවක් ඇති බවය.

නමුත් අප මේ පිලිබඳ කළ සොයා බැලීමකදි අනාවරණය වුයේ එවකට මෙම එන්නත් තොගය වෛද්‍යවරුන් භාරයේ තබාගෙන එන්නත් කළ බවත් එහිදි හැඳුනුම්කම් මත පෝමර නොපුරවා එන්නත ලබා දුන් පිරිසක්ද සිටින බවය. ඇතැම් විට මේ තොරතුරු අඩු ඇත්තේ ඔවුන්ගේ ඒ්වා විය යුතුය.

සංචාරකයින්ට ලබන මස සිට රට විවෘත වීමට දැන් සැලසුම් සකස් වෙමින් ඇත. ඒ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට සංචාරය කිරීම සඳහා අවසර ලබා දීමටය. නමුත් මොවුන් හරහා විවිධ විකෘති කොවිඩ් ප්‍රභේද යළි ලංකාවට පැමිණීමේ අවදානම අපට නොතකා හැරිය නොහැකිය.

එසේම දරුවන්ගේ online අධ්‍යාපනයද අද කඩා වැටීමකට ලක්ව ඇත. රැකියා අර්බුද මතුව ඇත. එසේ නම් අප එන්නත්කරණයෙන් පමණක් ඉදිරියෙන් සිටීම සෑහේද? යන්න විමසා බැලිය යුතු කරුණක් නොවන්නේද?

-ශානි-

Social Sharing
නවතම