ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් වලකින්න – පොලිස්පතිට ලිපියක්!

ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මාධ්‍ය සංවිධාන එකතුව පවසන්නේ විධිමත් නොවන පරීක්ෂණයන් සඳහා ජනමාධ්‍යවේදීන් පොලිස් ස්ථානයන් වෙත කැඳවා ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබඳව හා තොරතුරු වාර්තාකරණයන් පිළිබඳව  විස්තර විමසමින් තිබෙන බව වාර්තා වී ඇති බවය.

ඒ සම්බන්ධ ආසන්නතම සිදුවීම වූයේ මඩකළපුව මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් සෙල්වකුමාර් නිලන්තන් මඩකළපුව, කල්අඩි, ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැඳවා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම  බවත් එහිදී ඔහුගේ ඊමේල් ලිපිනයේ සහ මුහුණුපොතේ මුරපද, වට්ස්ඇප් අංකය සහ බැංකු ගිණුම් අංකය පවා ලබාදෙන ලෙස බලපෑම්කර ඇති බවත් දැනගන්නට ඇතැයි මාධ්‍ය සංවිධාන එකමුතුව පවසයි.

මාධ්‍යවේදීන්ගේ පුද්ගලික සංනිවේදන මුරපද ලබාගැනීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ සංනිවේදන රහස්‍යභාවය අහෝසි වී අන් කෙනෙකුට ඕනෑම වෙනස් කිරීමක් හෝ ඇතුල් කිරීමක් කළහැකි බව අමුතුවෙන් පැහැදිළි කළයුතු කරුණක් නොවන බවත් මීට පෙර ද අවස්ථා කීපයකදීම මඩකලපුවේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සශිදරන් ද මෙලෙස වරින්වර පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම සිදුකර තිබු බවත් සිහිපත් කරන මෙම එකමුතුව ලිපියෙන් පෙන්වා දෙන්නේ කිසියම් පැමිණිල්ලක් හෝ වෙනත් සිදුවීමක් නිසා මාධ්‍යවේදියකු සම්බන්ධයෙන්  කුමන හෝ පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අතිශය පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙස බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවන බවය.

එහෙයින්, මෙම සිදුවීම් පිළිබඳව වහා මැදිහත්ව විමසා බලා මාධ්‍යවේදීන්ට මුහුණදීමට  සිදුවන මෙවැනි බාධා වැළැක්වීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට  තම මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් ඉල්ලා  මාධ්‍ය සංවිධාන එකතුව ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම් කනපතිපිල්ලේ සර්වානන්ද, ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි යන අයගේ අත්සන් සහිතව පොලිස්පතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

-ශානි-

Social Sharing
නවතම