ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්

විදේශ විනිමය, ආර්ථික  අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය.

මෙරට විදෙස් විනිම සංචිතය ඩොලර් කෝටි 400 ක් වන අතර වසර මැදදී බැඳුම්කර ණය බේරූ විට ඉන් ඩොලර් කෝටි 100 ක් අඩු වන බවත් එවිට ඇත්තේ ඩොලර් කෝටි 300 ක් පමණක් බවද ඒ මහතා පවසයි. එසේම තෙල් සංස්ථාව නොගෙවූ බිල්පත් වල වටිනාකම ඩොලර් කෝටි 130 ක් වන අතර නමුත් මේ වන විට බැංකු වල විදේශ විනිමය නැති බවත් මේ වන විට අප ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් කෝටි 430 ක් බවත් පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ අප සතුව ඇති ඉතිරි ඩොලර් කෝටි 300 න්ද වසර අවසානයේ බොන්ඩ් ණය ගෙවීමට සිදු වන බවය.

ඒ අනුව නිර්මාණය වන ආර්ථික අර්බුදය හමුවේ අප කළ යුත්තේ කුමක්දැයි පවසන ඔහු කියා සිටින්නේ මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ නිසා ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරි වසර කිහිපයකට අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙසටය.

මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම