ශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!

අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක්  විමසීම  ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ.

“අර්ධ” නමින් මුහුණුපොතේ  පළ කළ  කෙටිකතාව හේතු කරගෙන තමා  අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ සදහන් කරමින් පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති, හිටපු පොලිස්පති සහ නීතිපතිට එරෙහිව ලේඛක ශක්තික සත්කුමාර  ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබුනි.

කොළඹ අලූත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 404 කාමරයේ නඩුව සිව් වැනි වරට ජුලි 15 වැනිදා  කැඳවීමෙන් පසුව වග උත්තරකාර පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම සදහා සති දෙකක් කල් ඉල්ලු බව නීතීඥ සංජය විල්සන් ජයසේකර සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

අනතුරුව  නඩුව  2021 වසරේ  ඔක්තෝබර් 26 වැනි  දින දක්වා කල් තැබීමට විනිසුරුවන් තීරණය කර ඇත.

ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතීඥ පුලස්ති හේවමාන්න, නීතීඥ සංජීව කළුආරච්චි සහ නීතීඥ සංජය විල්සන් ජයසේකර අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ICCPR යටතේ

“අර්ධ” නමින් අන්තර්ජාලයේ කෙටිකතාවක් පළකිරීමෙන් බුද්ධාගමට අපහාස කළ බවට චෝදනා නගා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ලේඛක ශක්තික සත්කුමාර 2019 වසරේ අප්‍රේල් 1 දින රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට ඇප මත නිදහස හිමි වූයේ 2019 අගෝස්තු 08 දිනයි.

ලේඛකයා අත් අඩංගුවට ගෙන තිබුනේ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අඟුළුගහ ජිනානන්ද භික්ෂුව විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවය.

ලේඛක සත්කුමාරට එරෙහි නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී   2021 පෙබරවාරි මස 9 වන අඟහරුවාදා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය ලේඛක ශක්තික සත්කුමාර  නිදොස් කොට නිදහස් කර තිබුනි.

බන්ධනාගාර ගත වන විට සංවර්ධන නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයේ කටයුතු කළ ශක්තික සත්කුමාර ඇප ලැබීමෙන් පසු  නැවත රාජ්‍ය සේවයේ පිහිටුවා තිබුනේ  2019 දෙසැම්බර් 2 දිනයි.

ICCPR යටතේ පොලිසිය විසින් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද වරින් වර චෝදනා කර තිබේ.

Social Sharing
නවතම