ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!

යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි.

මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට ඇති විය හැකි බලපෑම පිලිබඳව විවිධ පාර්ශව විසින් කථා කරන්නට පටන් ගත්තේ යුරෝපා සංගමයේ මේ තීරණයත් සමගිනි.

ආණ්ඩුවද යම් තිගැස්මකට පත් කළ මේ කථිකාවත නිසා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ආණ්ඩුව සුදානමින් ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව යුරෝපා සංගමයට වහාම දැනුම් දීමට කටයුතු කර ඇත්තේ ලංකාව මේ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ගද පෙන්වා දෙමිනි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජුනි 21 වැනි දින ගනු ලැබූ තීරණය පිළිබඳව යුරෝපා සංගමයට දැනුම් දී ඇත.

මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව රජය විසින් පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය ප්‍රකාරව තම බලතල ක්‍රියාත්මක කරමින්, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කොට දඬුවම් නියම කරනු ලැබ සිටි හිටපු LTTE සාමාජිකයින් දහසය (16) දෙනෙකුට ඉකුත් ජුනි 24 වැනි දින සමාව ලබා දීම පිළිබඳව ද යුරෝපා සංගමය දැනුවත් කළ බවද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Review of the Prevention of Terrorism Act

-ශානි-

Social Sharing
නවතම