මාධ්‍ය මර්දනයේ ඊළඟ පොලිස් ගොදුර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන?

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා වෙත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක ප්‍රතිචාරය දැක්වීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් මඟින් දන්වා ඇත.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ඉකුත් ජුලි 01 දා චන්ද්‍රිකා – මහින්ද – මෛත්‍රිපාල – ගෝඨාභය ඝාතන සැලසුම් විමර්ශනය කළ ශානි විශ්‍රාම ගනී! යන මැයෙන් ලිපියක් ලියා එය www.MediaLK.com වෙබ් අඩවියේ පළ කිරිමෙන් පසු තරිඳුගේ මුහුණු පොතේ දමා තිබුණි.

මෙම ලිපියෙන් පෙන්වා දී තිබුණේ ශානි අබේසේකර මහතා විසින් සිදු කළ විමර්ශන සම්බන්ධවය. මෙම ලිපියට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජුලි 01 දා රාත්‍රියේ මුහුණු පොත හරහා කියා තිබුනේ ඒ තොරතුරු අසත්‍ය බවත්, අසත්‍ය සමාජගත කිරිමෙන් වළකින ලෙසටය.  එලෙස ඇරඹනු කමෙන්ට් සංවාදය අවසානයේ ගෙන ගියේ තරිඳුට ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස තර්ජනාත්මකව සඳහන් කරන තැනටය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස තරිඳු සමඟ උරණ වී ඇත්තේ මෙම ලිපියට පමණක් නොවන බව මේ සංවාදය දෙස බැලීමේදි පෙනි යයි. පහුගිය දිනෙක කැබිනට් මාධ්‍ය හමුවකදී මාධයවේදී තරිඳු ජයවර්ධන මහතා විමසා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  චෝදනා පත්‍ර ලැබීමට නියමිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම පොලිස් දේශපාලන පළිගැනිම් කොමිසමෙන්  වැටුප් වර්ධක  ලබා දීමට මේ නිරේදේශ වුයේ කෙසේද කියාය.

මේ ඔහු මෙලෙස ප්‍රශ්න කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෝපයට හේතු වී ඇත. මේ අතර පහුගිය දිනෙක සමාජ මාධ්‍ය පෝස්ටුවක් නිසා අත්අඩංගුවට ගැනුනු ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ රජීව් යසිරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබුණි. එසේම තරිඳු ජයවර්ධන මහතාද සඳහන් කර තිබුණේ එලෙස මුහුණු පොතේ සටහනක් තැබුවාට අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් එසේ වුවානම් දැනුම් දෙන ලෙස දුරකතන  අංක දෙකක්ද සඳහන් කරමිනි. මේ සම්බන්ධයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත යැයි පවසමින් තරිඳුව ගම්පහ පොලිසියට ගෙන්වා කට උත්තරයක් ලබා ගෙන තිබුණි.

ඔහු දිගින් දිගටම චෝදනා කර සිටින්නේ තරිඳු බොරු ලියන බවය.

මේ සම්බන්ධව ඊයේ (02) මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳුවුම්කරු සීතා රංජනී, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන්, දෙමළ මාධ්‍ය සංසදයේ ලේකම් කනපතිපිල්ලේ සර්වානන්ද, ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි යන අයගේ අත්සන් සහිතව පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලද්දේ මේ වන විට තරිඳුගේ ජිවිතය අනාරක්ෂිත බැවිනි.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඊයේ (01) ඔහුට අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුවේ දැඩි අවධානය යොමු වී ඇත.

අදාළ ප්‍රවෘත්තිය සඳහන් ෆේස්බුක් පෝස්ටුව – https://m.facebook.com/story.php?story_fbid=4804876112874609&id=100000568041748

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

තරිඳු ජයවර්ධන ප්‍රධාන කර්තෘ ධුරය දරන www.medialk.com පුවත් වෙබ්අඩවිය එම ප්‍රවෘත්තිය සඳහන් කර ඇති ආකාරය – https://medialk.com/archives/5653

එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.

මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති ‘Borumai kiyanne soba dhahama jayagani – Aniwarwen see prbakaran and other Criminals’ යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි  බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව බව මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි විශ්වාස කරමු.

එසේම,  අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

-ශානි-

Social Sharing
නවතම