නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය කියා සිටියි.

ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ ජනාධිපතිවරයා අදාළ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලීව යැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති ප්‍රකාර ඒ අනුව අනුගමනය කළේ ද යන්න දැනගැනීමට ජනාතවට අයිතියක් ඇති බවත්  ඒ අනුව අදාළ ක්‍රියා පිළිවෙළ අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන් සහ වාර්තා, උපදෙස් සහ නිර්දේශ පිළිපැද්දේ ද යන්න සම්බන්ධයෙන් අදාළ වාර්තා, උපදෙස් සහ නිර්දේශ තිබෙන්නේ ද සහ දුමින්ද සිල්වා මහතාට සමාව දෙන්නේ ද නැද්ද යන්න නිර්දේශ කළේ ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නැයි ඉල්ලමින් තම මව් සංගමය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යැවූ බව ද කොළඹ නීතීඥ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශාලතම ශාඛාව වන කොළඹ නීතිඥ සංගමය ද එම ස්ථාවරය දරන බවත් සමාව ලබාදීමේදී අදාළ ක්‍රියා පිළිවෙත අනුගමනය නොකළේ නම් එය අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවද එම නිවේදනයෙන් කියා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සිරකරුවකුට සමාව දීමේදී නියමිත අධිකරණ ක්‍රියාවලිය අනුගමනය නොකරන්නේ නම් ඒ තුළින් අධිකරණ පරිපාලන පද්ධතිය සම්බන්ධයෙන් මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ වැටෙන අතර අවසානයේ දී නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් දුර්වල කරන බව ද එම සංගමය වැඩිදුරටත් කියා ඇත.

-ශානි-

Social Sharing
නවතම