විවාහ දික්කසාද නීතිය සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනයට?

යල් පැන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැළපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩ පිළිවෙළ අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා වෙත භාර දීම ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස් මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවති කමිටුවෙහි කැඳවුම්කාරිණිය ලෙස නීතීඥ මොක්ෂිනි ජයමාන්න මහත්මිය කටයුතු කරන අතර ඊට සාමාජිකයන් 12 දෙනෙකු ඇතුළත් විය. එකී කමිටුව විසින් නිදහසින් පසු කිසිඳු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ, දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම විශේෂම අරමුණක් විය.

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිතා කිරීමක් සිදු නොවන අතර වසර සිය ගණනකින් මෙම නීතිය යාවත් කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ට පත්වන්නට සිදුව තිබුණි.

ඒ අනුව වෛවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට ලක් කිරීමට නියමිතය. අදාළ තීරණවලට එළඹීමේදී 1956 වර්ෂයේදී පත් කරන ලද එහෙත් ක්‍රියාත්මක නොවූ කනකරත්න වාර්තාව, බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්ති වාර්තා, වර්ෂ 2007දී ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෙටුම්පත් කරන ලද වෛවාහක හේතු පනත), පවුල් නීතියේ ප්‍රතිසංස්කරණය සඳහා වූ වාර්තා මෙන්ම 2021 වර්ෂයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහයට යෝජිත සංශෝධන ද, එකසත් රාජධානිය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා සිංගප්පූරුව යන රටවල ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන් ද සළකා බලන ලදී.

අදාළ යෝජනාවලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන්නේ විදේශයන්හිදී ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දු මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පතයි. වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් විදේශවල පදිංචි වී සිටීමත්, ඔවුන් විසින් විදේශයන්හි දී ලබාගනු ලබන දික්කසාද නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වීම මගින් බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් මෙන්ම මෙරට තුළ පිහිටි දේපළ සම්බන්ධයෙන් ද විශාල අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. ඒ සම්බන්ධයෙන් සියවස් ගණනක් මුළුල්ලේ පැවති නීතියේ ඌණතාවලට පිළියම් යෙදීම මෙහි අරමුණ වේ.

-ශානි-

Social Sharing
නවතම