සහල් ආනයනය අපේ රටේ ඩොලර් හිඟ වීමට බලපායිද?

වර්තමාන රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කිරීම නිසා ඉදිරියේ දී අපේ රටේ ගොවියාගේ වී මිල පහළ යාමට හේතු විය හැකි බවත් බංගලිදේශයෙන් ඩොලර් මිලියන 20ක ණයක් ලබාගෙන ඉන්දියාවට ඩොලර් මිලියන 48.6ක් සහල් ගෙන්වීම සදහා ලබා දීම අපේ රටේ ඩොලර් හිගවීමට බලපාන බවත් මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වන ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ඉන්දියාවෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂායක් ඉන්දියාවෙන් ගෙන්නන්න තීරණය කරලා තියෙනවා. මේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය ගෙන්වනවා කියන්නේ මාසයක ට විතර සෑහෙන සහල් ප්‍රමාණයක්. යලකන්නයේ අස්වනු නෙලීම ආරම්භ කරලා තියෙන මොහොතක ඇයි මේ හාල් ගෙන්වන්නේ. දැන් මේ වන විට අපේ රටේ මඩකළපුවෙන්, කන්තලෙන් වී අස්වනු ලැබෙමින් පවතිනවා. මේක යල කන්නයේ අපේ ගොවියාගේ වී මිල විශාල ලෙස පහල යන්න බලපාන කාරණයක්. ඒ වගේම රටේ මේවන විට කිසිම තැනක හාල් ගෙන්වන්න තරම් සහල් හිගයක් නෑ. මේ හාල් ගෙන්වන විට උදාහරණයක් විදිහට ඉන්දියාවේ සහල් මිල අඩුයි නම් සහල් කිලෝ එකක් රුපියල් 95ක් නම් ඒ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය ගේන්න අපට වැය කරන්න වෙනවා ඩොලර් මිලියන 48.6ක්. එතකොට මේ වෙලාවේ ලංකාවේ ඩොලර් එලියට යවන එක සම්පූර්ණයෙන් නවත්වලා තියෙන්නේ රජයේ අත්‍යවශ්‍යම දෙයකට හැර. එතකොට දැන් මේ වෙලාවේ රටේ සහල් මෝල්වල වීත් තියෙනවා නම් රටට හාල් වල හිගයකුත් නැතිනම් වී අස්වැන්නත් මේ වෙලාවේ නෙලමින් තියෙනවා නම් ඇයි මේ වෙලාවේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන්න හේතුව. මගේ දැනීමේ හැටියට නම් කිසිම අවශ්‍යතාවක් නෑ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන්න. ඒක හරි අපරාධයක් වෙයි. මොකද හේතුව මේ වතාවේ ගොවියන්ට පොහොර ප්‍රශ්නය බලපාලා තියෙනවා. අස්වැන්න අඩුවෙන්න පුලුවන්. අස්වැන්න අඩු වුණොත් අඩුම තරමේ අපේ ගොවියාට වී වලට හොද මිලක් හරි ලැබෙන්න ඕන. දැන් වෙළදපලේ ගත්තොත් රුපියල් 100 ට ටිකක් එහාට මෙහාට වෙන්න හාල් ගන්න තියෙනවා. සියලුම ආහාර ද්‍රව්‍ය බැලුවාම අඩුවෙන් ම ගන්න පුළුවන් ආහාරය තමයි බත්. ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේ හාල් ගෙන්වන එක ගරු ජනාධිපතිතුමනි කිසි සේත්ම වුවමනාවක් වෙන්නේ නෑ රටට. අපට වුවමනා වෙන්න පුලුවන් එහෙම වුනොත් අපිම කියනවා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් හැටියට අපි දන්නවා අවශ්‍යතාව ගැන. මේකෙන් සිද්ධ වෙන්නේ අපේ රටේ ඩොලර් පිට රටට යන එක විතරයි. මම එහෙම කියන්නේ මට අවශ්‍ය පොලිසැක් ගන්න ගිහාම නිතරම බැංකුවලින් එල් සී අරින්න වෙලා තියෙනවා. නමුත් බැංකුවලට ගියාම එල්සී අරින්න විදිහක් නෑ. ඩොලර් නෑ කියලා. එහෙම තියෙද්දී ඩොලර් මිලියන 48.6ක් ඩොලර් වියදම් කරලා මේ හාල් ගෙන්වන්නේ ඇයි. අපේ රටේ ඩොලර් පිට රටට යන්න ඉඩ සැලසෙනවා මේ නිසා. දැන් බංගලිදේශයෙන් ණයක් ගන්නවා ඩොලැර් මිලියන 20ක් වුවමනා නැති දේකට හාල් ගෙන්වන්න අපි ඩොලර් මිලියන 48.6ක් අපි ඉන්දියාවට යවනවා. මේක අපරාධයක්. ගරු ජනාධිපතිතුමනි මේ ගැන හිතන්න. අනික තමයි ඔබ තුමා කහ ගෙන්වන්නේ නැතිව කහ වගා කළා. ඒක ඉතාම වටිනා වැඩක් ගරු ජනාධිපතිතුමනි. එහෙම ක්‍රමානුකූලව මේ වැඩ ටික කළොත් විශේෂයෙන් ම කාබනික පොහොර යෙදීම ගත්තොත් ඊළග මාස් කන්නයට රසායනික පොහොර සියයට 95ක් දෙන්න. කාබනික පොහොර සියයට 15ක් දෙන්න. ඊළග කන්නයේ තව ටිකක් රසායනික පොහොර අඩු කරන්න. කාබනික පොහොර වැඩි කරන්න. කන්නයෙන් කන්නයට රසායනික පොහොර අඩු කරන්න. සියයට 15 ගාණේ. ඒවගේම සියයට 15 ගණනේ කාබනික පොහොර වැඩි කරගෙන යන්න. එහෙම කළොත් මේ මහපොළව ඒකට හුරු වෙයි. එකපාරම කාබනික පොහොරවලට ගියාම ඒක හරියන්නේ නෑ.වී අස්වැන්න විශාල වශයෙන් අඩුවෙන්න පුළුවන්. එතකොට මම හිතන්නේ නෑ අපට කවදාවත් පිට රටින් කාබනික පොහොර යොදපු හාල් ගෙන්වන්න පුළුවන් කියලා. වීවලට පමණක් නෙමෙයි අනෙකුත් අතිරේක බෝගවලට බඩ ඉරිගුවලට එළවලුවලට ආදියටත් මේ විදිහට කාබනික පොහොර හදුන්වාදීම කළොත් විතරයි අපේ පොළව ඒකට හුරු වෙන්නේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමනී දුර හිතලා මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. සහල් මිල පාලනය කරන්න කියලා ඇමතිතුමා සහල් ගෙන්වනවා කියනවා. හැබැයි හාල් මිල පාළනය කරන්න ඕන සහල් හිගයක් ඇතිවෙලා විශාල වශයෙන් මිල ඉහළ ගියාමනේ.නමුත් කන්නයෙන් කන්නයට සහල් මිල රුපියල් 4ක් 5ක් වැඩි වෙන්න පුළුවන්. මොකද බැංකුවලට පොලී ගෙවන්න තියෙනවා. රුපියල් 100 ට අඩුවෙන් හාල් අද ගන්න පුළුවන්. රුපියල් දෙකක් තුනක් ප්‍රධාන මෝල්වල සහල් මිල ඉහළ ගිහින් තියෙන්න පුළුවන්. අපේ රටේ සහල් මෝල් 2000ක් විතර තියෙනවා. නමුත් සහල් මෝල් තුන හතරක් තමයි විශාල සහල් මෝල් තියෙන්නේ. නමුත් සුලු හා මධ්‍යපරිමාණ සහල් මෝල් ගොඩගන්න රජය උදව් කරන්න. ඒවා ගොඩ ගත්තොත් අපට මිල පාළනයකින් කරගෙන යන්න පුලුවන්. අපේ ප්‍රධාන මෝල්වල රැස් කරලා තියෙන වී තොග සහල් බවට පත් කරමින් තියෙනවා. හාල් හොගයකින් තොරව අපට දෙන්න පුළුවන්. අපේ සහල් ප්‍රමිතියෙන් යුතු සහල් ලබා දෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ හාල් ගන්න පිටරටට ඩොලර් විකුණන්න එපා කියලා අපි කියන්න කැමතියි. යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

 

Social Sharing
නවතම