අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය වල පළ වූ අසත්‍ය  පුවතකට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

ඇස්ට්‍රසෙනිකා එන්නත ලංකාවට ගෙන්වීමෙන් පසුව වෙනත් ද්‍රව්‍යයක් කලවම් කර තත්ත්වය බාල කරන බවට අසේල සම්පත් මහතා පහුගිය දිනෙක සමාජ මාධ්‍ය හා යු ටියුබ් නාලිකා ඔස්සේ සමාජ ගත කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යධිකාරිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති ප්‍රතිචාරද සැලකිල්ලට ගෙන නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඊයේ දින අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කොට්ටාව, පැලැන්වත්ත පිහිටි අසේල සම්පත් මහතාගේ නිවසට ඊයේ  (25) සවස සුදු වෑන් රියකින් පැමිණි සිවිල් ඇඳුමෙන් සැරසුණු 20 කු පමණ  පිරිසක්  CID යෙන් බව පවසා කිසිදු හේතුවක් නොදක්වා ඒ මහතාව පැහැරගෙන ගොස් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කර තිබුණි.

පැහැරගත් වාහනයේ අංකය අසේල සම්පත් මහතාගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි. ඔහුගේ දියණිය විසින්ද මේ පැහැර ගැනීම පිලිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබුණි.

සිව්දරු පියෙක් වන අසේල සම්පත් මහතා පහුගිය දින කිහිපය පුරාම රජයෙන් මහජනතාවට සිදුවන හිරිහැර, පීඩා සම්බන්ධව හඩ නැගු අයෙකි. අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ බඩු මල්ල ගැන කථා කිරීමටද ගොස් ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

එසේම පහුගිය දිනවල ඔහු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීමක් සිදු කර තිබුණි. එහිදී රාජ්‍ය අමාත්‍යවරයාට දැඩි අපහාසයක් වු බවට චෝදනා කරමින් ඔහු අසේල සම්පත් මහතාට එන්නතරවාසියක්ද ඒවා ඇත.

-ශානි-

Social Sharing
නවතම