සමත් නායකයෙක් ජාතිය ඇමතීමට නම්!

මේ වගේ අර්බුද අවස්ථාවක මුළු ජාතියේම දෙසවන් තමා වෙත නතු කරගන්න නම් ගුණාංග ගණනාවක් තියෙන්න ඕනෙ.

මේ කීපයක්:

– තමන් මැෂිමක් නෙමේ මනුෂ්‍ය චින්තකයෙක් කියල පෙන්විය හැකි ප්‍රඥාසම්පන්නභාවයක් වචනවලින්, උච්චාරණයෙන් කතා විලාසයෙන් විදහා දැක්වීමේ හැකියාව-

 – සිංහල බසින් ජනතාවගේ හදවත වෙත ළඟා විය හැකි වාංමාලාවක්, කථන විලාසයක්, චාතූර්යයක් –

–  තැනින් තැන විසිරුණු පරණ ජාතිවාදී කෑලි ඇර ජනතාව හා බැඳීගත හැකි යෙදුම්, උපමා ආදී සංස්කෘතික සාක්ෂරතාවක්.

(ගොඩාක් දුරට රනිල් වික්‍රමසිංහ වැනිම යාන්ත්‍රිකත්වයකින් යුතූ ඊටත් යාන්ත්‍රීක නිලධාරිත්වයක් තමයි මෙයාට තියෙන්නෙ. දැන් ඒ තත්ත්වය වැඩි වෙලා.)

– මේ මිනිහා රටේ සහ ලෝකයේ මහා ප්‍රශ්න ගැන මෙලෝ අවබෝධයක් නැති මිනිහෙක් කියල මිනිස්සුන්ට නොහිතෙන්න කතා කිරීමේ හැකියාව.

– අලුත් දැක්මක්, සිහිනයක්, අපේක්ෂාවක් වටා ජනතාව පෙළ ගැස්වීමේ හැකියාව.

– අප්‍රාණික කැමරාවක් ඉදිරියේ නොව සමස්ත ජනතාව නම් වූ සප්‍රාණික මනුෂ්‍යයන් ඉදිරියේ තමන් සිටගෙන ඉන්නා බව කථිකයා දැන සිටීම

– 2009දී ත්‍රස්තවාදය අවසන් වුණු රටේ නැවතත් ඊටත් වඩා භායනක ත්‍රස්තවාදයක් ඇති වී තිබුණු බව කීමෙන් තමන්ම උත්කර්ෂයට නංවන  තමන්ගේම රණවිරුවන්ට වක්‍රව  නිගරු නොකිරීම

– රණවිරුකමට මුවාවී අහිංසකයන් ඝාතනය කළ රණවිරුවන් ගැන, ඒ රණවිරුවන්ගේ අවසාන අණ දෙන්නා ලෙස අවංකව සමාව ඉල්ලා සිටීමේ හැකියාව

 -ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය, යුක්තිය, සාධාරණය වැනි වචන කතාවක තැන තැන විසිකරන පොඩි පොඩි කෑලි නොව මනුෂ්‍ය වර්ගයා දීර්ඝ කාලයක් තුළ දිනාගත් ජයග්‍රහණ බව තමන් යන්තමින් හෝ දන්නා බව විදහා පෑමේ හැකියාව.

-2019 දී ඇති කළ ජාතිවාදී පොහොට්ටු රැල්ලම යළි මතු කරන්නට තැත් නොකර සියලු පක්ෂ හරහා සමස්ත ජනතාවට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව

අප්‍රාණික කැමරාවක් ඉදිරියේ නොව සමස්ත ජනතාව නම් වූ මනුෂ්‍ය සමූහයක් ඉදිරියේ, විශේෂයෙන් අපේක්ෂාභංග වූ මනුෂ්‍ය සමූහයක් ඉදිරියේ, තමන් සිටගෙන ඉන්නා බව කථිකයා දැන සිටීම

-තමන්ගේ හදවතේ අවංකකම ඇස්වලින් විදහා පෙනෙන ලෙස ජනතාව දෙස කෙළින් බලමින් කතා කිරීමේ හැකියාව සහ -එසේ කිරීමට බයක් ඇති බව ඇඟවෙන කළුපාට අව්කණ්නාඩි නොපැළඳීම.

මේ සියල්ලටමවත් වඩා මෙන්න මේ ටික ඕනෙ:

අපිට යම් යම් දේවල් වැරදුණා, ඒ මේවයි, ජනතාවනි ඒ ටිකට අපට සමාවෙන්න කීමේ නිහතමානය.

ජනතාවගෙන් පමණක් නොව අපේ යම් යම් අඩුපාඩු නිසා අකාලේ මිය ගිය කැස්බෑවන් හා ඩොල්පින් මසුන් වැනි  සතා සිව්පාවාගෙන් පවා සමාව ඉල්ලීමේ නිහතමානය(විශේෂයෙන් පොහොන් කාලෙත් නිසා)

(අපේ හදවත්වල හොඳම ස්ථානවලට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇති ජනනායකයන් බිහි කර ගැනීම යනු අප කවුරුත් දායක විය යුතු ශිෂ්ටාචාරමය වැඩක්. ඒ කාර්ය කොපමණ නම් අත්‍යවශ්‍යයද යන්න අදත් පෙන්වා දුන් ජනාධිපති මහතාට ස්තුතිය පුද කරමු)

ලියනගේ අමරකීර්ති

Social Sharing
නවතම