දත්ත වැරදි එකට වසංගත  රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය. ඒ  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙසටය.

ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ පසුගිය 18 වනදා  කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවය. එහිදී මෙම වසංගත ඒකකය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අදහස් පළ කරමින් කියා සිටියේ කොවිඩ් මරණ ගැන හෝ ඊට අදාළ නිවැරදි දත්ත වාර්තා නොවීමට මෙම වෛද්‍යවරයා වගකිය යුතු බවය.

මීට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විවිධ මාධ්‍ය හමු වලදී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාව විවේචනය කර තිබුණේ ඔහු නිවැරදි දත්ත රටට හෙළි නොකරන බව පවසමිනි.

මෙම වෛද්‍යවරයා වෙනත් අංශ වල කිසිවෙකුත් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බව මුල් අවස්ථාවේදීම විවිධ පැති වලින් ඇසෙන්නට විය. එයට ඒ අවස්ථාවේම විසඳුමක් ලබා දුන්නේ නම් අද මේ ගැටුම මෙපමණ දුර යන්නේ නැත.

ඊයේ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කළේ පරණ මරණ එක් කර අලුත් ඒවා ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනි.

මෙම රැස්වීමෙන් පසුව වසංගත රෝග අංශයේ ප්‍රධානීයාට ස්ථාන මාරු ලැබ තිබුණි. මේ වන විට වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ එහි වැඩබලන අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර ඇත.

Government of Bangladesh grants loans to Sri Lanka saman rathnapriya

මොහුගේ මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ කොවිඩ් මරණ ගැන හෝ ඊට අදාළ නිවැරදි දත්ත වාර්තා නොවන්නේ නම් වසංගත රෝග විද්‍යා ප්‍රධානියා ඉවත් කිරීමට පෙර ජනාධිපතිවරයා කළ යුත්තේ එම දත්ත නිසි ලෙස නොලැබීම ගැන විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය බවය.

කොවිඩ් කමිටුවේදී කොවිඩ් මරණ වාර්තා වීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න සහගත තත්ත්වයේදී වසංගත රෝග ප්‍රධානියා වගකිව යුතු බවට කිසිවෙක් හෝ පවසන්නේ නම් එයට එකඟ විය නොහැකි අතර මරණ පිළිබඳ තොරතුරු වාර්තා කරන රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලද ඊට වගකිව යුතු බවද ඒ මහතා කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම