පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!

රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි.

ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව පහුගිය දින කිහිපය පුරා විවිධ මාධ්‍ය සංවිධාන මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ එකමුතුවද නිවේදන නිකුත් කර තිබුණි.

කෙසේ නමුදු මෙම පසුබිම ඔස්සේ වුවද රජය පෙරලිම සඳහා කටයුතු  කරමින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17) සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ අක්මීමන, තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යවරත්න නම් විසි අට හැවිරිදි තරුණයෙකි.

මොහු සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරුවෙකු ලෙස කටයුතු කරන අතර එහිදී පහුගියදා මෙරට මුහුදු තීරයේදී ගිනිගෙන මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් වන ප්‍රකාශයක් සිදු කිරිම මොහුට එල්ල වී තිබු චෝදනාවය.

ඒ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබීමය.

මේ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඊයේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අනුව සහ පරිගණක අපරාධ නීතිය අනුව කරුණු වාර්තාකරන බව පවසමිනි.

එසේම මෙම සැකකරු සම්බන්ධ පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් සාක්ෂි ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසිය. ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

නමුත් සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රජීන්ද‍්‍ර නාරංගොඩ සමග ජ්‍යෙෂ්ඨ නීතීඥ විශ්වනාත් අරඹවෙල යන මහත්වරුන් පෙනී සිටි අතර ඔවුන් අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුව මිලටරීකරණයක් වෙත යමින් තිබෙන අවස්ථාවේදී  අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අධිකරණ මුද‍්‍රාව හරහා තහනම් කිරීමට උත්සාහ ගන්නා බවත්  අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හෙයින් අත්අඩංගුවට ගත් සැකකරුට ඇප ලබාදිය යුතු බවත්ය.

ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය.

ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගනිමින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත සුමුදු වෛද්‍යරත්න නිදහස් කිරීමට අධිකරණය නියෝග කල අතර සැම අවසන් ඉරුදිනකම ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත්  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  නියෝග කලේය.

තවද විමර්ශන අවසන් වන තුරු එම ෆේස්බුක් ගිණුම තාවකාලිකව යවත්කාලින නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය. වැඩිදුර විභාගය ජුලි 29වනදිනට කල් තැබින.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික අපරාධ අංශයේ ස්ථානාධිපති  එස්.සේනාරත්න මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

-ශානි-

Social Sharing
නවතම