මත්පැන්/ කසිප්පු online තියනවද?

පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කර තිබුණි.

එසේම සංචරණ සීමා පනවා තිබීම නිසා දිවයින පුරා සුරාසැල් වසා දැමීමත් හේතුවෙන් රටේ බහුතරයක් ජනතාව නීතිවිරෝධී මත්පැන් පරිහරණයට සහ නිෂ්පාදනය පෙළඹී ඇති බවට පසුගිය කාල සීමාවේදී නිරීක්ෂණය වී ඇති බවත් ඔහු පවසා තිබුණි.

මෙවැනි කටයුතු නිසා ඉදිරියේදී රජයේ බදු ආදායම් දීර්ඝ කාලීනව අහිමිවී යාමේ අවදානමක් ඇති නිසා නියමු ව්‍යාපෘතියක් ලෙස පාරිභෝගියකයින් වෙත මත්පැන් සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමට අවසර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව එම පුවතෙන් වැඩිදුරටත් කියැවිණි.

මේ අතර තව දෙයක් ඔවුන් හෙළි කර තිබුණි. ඒ රටපුරා සංචරණ සීමා පැනවීමෙන් පසු ඉකුත් මාසය පුරා සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500ක පමණ මුදලක් අහිමි වී ගොස් ඇති බවය.

කොරෝනා වසංගතය රටපුරා පැතිර යෑම නිසා ඉකුත් මැයි මස 13 වැනිදා සිට රට පුරා සංචරණ සීමා පැනවීමත් සමග සුරාසල් ද වසා දැමීමට පියවර ගැනුණා.

ඒ අනුව මාසයක් පුරා එක දිගට සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500 කට අධික පාඩුවක් සිදුවී තිබෙන අතර දිනකට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 500කට අධික බවට ගණන් බලා ඇත.

රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවට අමතරව තෙවැනියට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව බවට පිලිගැනීමක් ඇත.

නමුත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසා සිටින්නේ එය අසත්‍යයක් බවයි. එමමධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඒක පුද්ගල මධ්‍යසාර පරිමාණය ලීටර් 04 කට අඩු බවය. එසේම සුරාසැල් වැසීමෙන් කසිප්පු නිෂ්පාදනය ඉහළගොස් ඇති බවට සුරාබදු නිලධාරීන් පවසන්නේද මත්පැන් අලෙවි කර ගැනීමේ කූඨ උපකුමයක් ලෙස බවද කියා සිටියි.

කෙසේ නමුදු මේ වන විට ගෘහස්ථව නිෂ්පාදනය කෙරෙන මත්පැන්, කසිප්පු ඉහළ ගොස් ඇති බව පොලිසියද පෙන්වා දෙයි.

අද වන විට මේ ගෘහස්ථව නිපදවන කසිප්පු online හෝ ක්ෂණික දුරකථන ඇමතුම් හරහා පුද්ගලයින්ට ගෙන්වා ගැනීමේ හැකියාව ඇතැයි පැවසුවහොත් පුදුම විය යුතු නැත.

ඇතැම් ප්‍රදේශ වල මෙලෙස ලැබෙන කසිප්පු ඇනවුම් ලබා දීමට වෙනම පුද්ගලයින් පත් කර ඇත. ඔවුන් ස්කුටර් වර්ගයේ යතුරපැදි වලින් ගොස් අදාල නිෂ්පාදනය ගැණුම්කරුට ලබා දී මුදල් ගනියි. මේ ඩිලිවරිකරුවෙකුට දවසකට රුපියල් 2000 ක් කසිප්පු නිෂ්පාදනය කරන්නා විසින් ගෙවනු ලබයි.

එසේම තවත් ප්‍රදේශ වල හොඳ මත්පැන් රුපියල් 4000 කට වැනි මුදලකට අලෙවි කෙරේ. ඒ ඇතැම් සුරාබදු නිලධාරින්ගේද සහාය ඇතිවය. මීට ආසන්නතම උදාහරණ ඇත්තේ අනුරාධපුරයේය. අනුරාධපුරයේ සතොස මත්පැන් හල ඇර මත්පැන් ගෙන ගොස් තිබුණේ සුරාබදු නිලධාරින් සමඟමය. මේ බව පොලිස් පරීක්ෂණ වලදීද අනාවරණය වී තිබුණි.

-ශානි-

Social Sharing
නවතම