ගම්පහ අවතැන් වුවන්ට සහනාධාර දෙන්න කොටි 06 ක් ගිහින්ලු!

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ගැන තාමත් ඇත්තේ උණුසුම් කථාබහකි. ඊට හේතු වී ඇත්තේ තවමත් ඇතැම් ප්‍රදේශ වල ජලය බැස නොයාමේ ගැටලුවයි.

ගම්පහ ගංවතුර නිසා මේ වන විට සියලු දේශපාලඥයින් ගම්පහට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටියි. මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවරක්ම ජල ගැලීම් වලට මුහුණ දී අවතැන් වී සිටින ජනතාවට මේ දේශපාලඥයින්ගෙන් කියා ලැබුණු දෙයක් නැත.

ඔවුන් තවමත් උත්සහ කරන්නේ මේ ගංවතුරට හේතු සොයනවා වෙනුවට එකිනෙකාට බෝලය පාස් කර ගැනීමකි.

තවමත් ගංවතුර

මෙවර පැවති අධික වැසි තත්ත්වයත් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ  ග්‍රාම නිලධාරි වසම් 422කට  ගංවතුර තත්ත්වයෙන් බලපෑම් ඇතිවිය. පවුල් 39742 ක පුද්ගලයින් 161383ක් පීඩාවට පත්වූ අතර මරණ දෙකක් වාර්තා විය.

ග්‍රාම නිලධාරී වසම් 32ක තවමත් ගංවතුර තත්ත්වය පවතියි.  එම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 3195ක පුද්ගලයින් 12544 ක් සඳහා සහන සැලසීම නොකඩවා සිදු කෙරෙන බවත්  ඒ සඳහා ඉකුත් සතිය තුළ රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් වැය කර තිබෙන බවත් රජය ප්‍රකාශ කර ඇත.

තකහනියේම ඇලවේලි සුද්ධ කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකසන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (14) නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගම්පහ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

මීට පෙර මොහු සඳහන් කළේ මෙම අධිවේගයේ කටයුතු තාවකාලිකව අත්හිටු වු බවය. නමුත් මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අත්හිටුවා නැති බවත් දිගටම ඉදිකිරීම් කටයුතු සිදු කරන බවත්ය.

ගංවතුරට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවද?

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නැවත මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගතයුතු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් නමුත් ඊට ප්‍රධාන හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නොවන බව මහාමාර්ග හා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා නිලධාරීහු මෙහිදී කියා ඇත.

ඔවුන්ගේ අදහස අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා සකස් කර ඇති සේවා සැපයුම් මාර්ගවලින් යම් බලපෑමක් සිදු වූ නමුත්  අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග එම සේවා සැපයුම් මාර්ග ඉවත් කරන බැවින් ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති නොවන බවය.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ ජල බස්නා ස්ථාන ඇතුළු ජල බස්නා හා ඇළ වේලි වසර දහයකට ආසන්න කාලයක් සුද්ද පවිත්‍ර නොකිරීම මෙම තත්ත්වයට දැඩිව බලපා තිබෙන බව ඔවුන් කියා ඇත.

ඔවුන් කියනා ආකාරයට මේ දුම්රිය ඇලවේලි ඇත්තේ කොහේද යන්න සඳහන් කර නැත. එසේම ගම්පහ දුම්රිය ස්ථනාධිපතිවරයා දන්නා තරමින් ගම්පහ දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු ඇල මාර්ගයක් අයත් නැත. දුම්රිය ගමන් කරනනේ ඇලවේලි මතින් නොව දුම්රිය මාර්ගයේ නිසා දුම්රිය මාර්ගය සුද්ධ කිරිම නම් සිදු කෙරෙති. මේ නිලධාරීන් පවසන ඇලවේලි ඇත්තේ කෙහේද යන්න මෙම සාකච්ඡාවේදි විමසිමට තරම්වත් කිසිවෙකු නොසිටිම කණගාටුදායකය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජලය බැස යන අත්තනගලු ඔය, දී ඇලි ඔය, ඌරුවල් ඔය යන ප්‍රධාන ඇළ මාර්ග සහ යාරුඇල, කලු ඇල ආදී ජල බස්නා තිබුණද ඒ්වාට ජලය බැස නොයන්නේ මධ්‍යම  අධිවේගයේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් තැනින් තැන පස් පුරවා වෙලවල් ගොඩ කිරිම නිසා බව මෙම නිලධාරීන් තවමත් පිලිගැනීමට අකමැතිය.

පස් පුරවා හදපු අලුත් පාර තැනින් තැන කපයි

මීට ආසන්නතම නිදසුනක් වන්නේ රත්මල්විට සිට ගම්පහ නගරය හරහා යන අධිවේග මාර්ගයේ මේ වන විට විශාල කුඹුරු ගොඩ කරමින් පස් පුරවා මාර්ගයක් සාදා ඇත. ජා ඇල පාරේ වතුර බැස යාමට අවසානයේ මේ පස් පිරවු මාර්ගේ තැනින් තැන කපා දැමීමට සිදු වි ඇත. අධිවේගය මේ ගංවතුරට හේතුවක් නොවන්නේ නම් ඔවුන් ජලය බැස යාමට මෙලෙස පිරවු පස් නැවත කපා ඉවත් කලේ ඇයිද යන්න විමසිය යුතුව ඇත.

නමුත් ඊයේ (15) පැවති සුලු වර්ෂාවටද ගම්පහ ජා ඇල පාරේ අකරවිට , කිරිඳිවිට ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනු දැකිය හැකි විය.

කෝටි 06

එසේම මේ අවතැන් වුවන්ට සහනාධාර ලබා දීම සඳහා රජය කෝටි 06 කට ආසන්න මුදලක් වැය කර ඇති බව පැවසේ. ඒ කෙසේ ද යන්න පැහැදිලි කර නැත. ගංවතුර ත්ත්වයට හසුව මේ වන විට වතුර බොන ළිඳ පවා සුද්ධ කර ගැනීමට නොහැකිව තවමත් ඇතැම් අවතැන් වු පිරිස් වලට හැකියාවක් නැත. එසේම මේ ගංවතුරෙන් යට වු සෑම අයෙකුටම පිසු ආහාර ලැබුනේද නැත. සහනාදාර ලෙස වියළි ආහාර මලු ලැබුනේද නැත. නමුත් මේ මුදලින් වැඩි වශයෙන්ම වැය වන්නට ඇත්තේ පිසු ආහාර වලට බව පැවසේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකු නම් මාකේවිට, කලුවැල්ගොඩ ප්‍රදේශයට වාහන 07 ක් සමඟ ගොස් අවතැන් වු පවුල් 08 කට පමණක් වියළි ආහාර මලු ලබා දී තිබුණි. එසේම ගංවතුරට හසු වු ඇතැම් ප්‍රදේශ වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමඟ එක්ව ළිං පිරිසිදු කිරිමට ජනතාවට ක්ලෝරීන්, මී උණට බෙහෙත්, කකුල් වල ඇති වන ආසාත්මිකතා වැනි රෝග වලට ඖෂධ ආදිය ලබා දීමට පියවර ගෙන තිබුණි.

ගම්පහ ගංවතුර පිලිබඳ පෙර ලිපිය

https://www.aithiya.lk/9144/gampaha-floods-ministers-in-sri-lanka/

-ශානි-

Social Sharing
නවතම