GSP+ සහනය කප්පාදුව මෙරට ජනතාවගේ පරමාධිත්‍යයට කරන බලපෑමක් – අමාත්‍ය කෙහෙළිය

GSP+ සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමඟි සන්ධානයට එළැඹිම හෝ ගිවිසුම්ගතවීම මත තීරණය කරන්නේ නම් එය මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන බලපෑමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එසේම එය ශ්‍රී ලංකාව තුළ පවතින ස්වෛරීත්වයට එල්ල කරන තර්ජනයක් බවත්, මේ සම්බන්ධයෙන් විදෙස් කටයුතු අමාත්‍යංශය නිවැරදි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඔහු කියා සිටියි.

ව්‍යවස්ථාව වෙනස්කිරීම රටේ ජනතාවගේ අයිතියක් පමණක් බවත්, එයට බාහිර බලවේගවලට අතපෙවීමට හැකියාවක් නොමැති බවත්, රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත්‍රිත්වයට විනා ජනතාවගේ ස්වාධිපත්‍ය නිරූපණය කිරීමට වෙනත් බාහිර සංගම්වලට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා  පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාව ළමා මෙහෙකාර සේවය, කම්කරු නීතිය නොපිළිපැදීම හෝ කම්කරු අයිතීන් කඩ කිරීම වැනි කටයුතු සිදු කරන්නේ නම්, GSP+ සහනය කප්පාදු කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද ඇඟලුම් හා GSP+ සහනය ඇති අනෙකුත් කර්මාන්තවලට කිසිඳු සම්බන්ධයක් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කිරීමක් අළලා GSP+ සහනය ඉවත් කිරීම සාධාරණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (15 දින) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

-ශානි-

Social Sharing
නවතම