සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක  ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී  නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ වන්දි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් දැයි සැකයක් පවතින බව සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේදී ඊයේ (14) ප්‍රකාශ කර ඇත.

නෞකාවේ කපිතාන්වරයා වන රුසියානු ජාතික ක්වප්ලෝ විටලී මහතා සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළ බවට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ දින කොළඹ මහධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාය. ඔහු සිය සේවාදායකයා වෙනුවෙන් ඊයේ දිගින් දිගටම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉහත ප්‍රකාශය කර ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ පැවැතුණි. එහිදී සිද්ධියට අදාලව සිදුකරන ලද විමර්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ පොලිසිය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය, නිමි භාණ්ඩ සහ තෙල් ආදිය මුහුදට එක්වීමෙන් ශ්‍රී ලංකාවට අවට මුහුදට විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවත් එයට මෙම කපිතාන්වරයා වගකිවයුතු යැයි ද පැමිණිල්ල වෙනුවෙන් පොලිස් නිලධාරීන් සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්කොන් මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

එසේම මෙම සිදුවීමෙන් වසර දහස්ගණනකටවත් ප‍්‍රපූර්ණය කළ නොහැකි හානියක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුව ඇතැයිද ඔහු පෙන්වා දී ඇත. මෙම නෞකාවේ ගින්න ඇතිවූ අවස්ථාවේදී එය නිවාදැමීමට සැකකරු ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය කටයුතු නොකිරීම මෙම සිද්ධියට මූලිකම හේතුව වී ඇතැයි සඳහන් කළ මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳව ආරම්භ කළ විමර්ෂණ කටයුතු පුළුල් ආකාරයෙන් සිදුකරගෙන යන බවද අධිකරණයට දන්වා ඇත.

මෙහිදී සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ තම සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප‍්‍රමාද වූ බවත් මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්වය ඊට හේතු වූ බවත්ය.   මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු නිරීක්‍ෂණය කළ තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය ආධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම්දී ඇතැයිද ඒ අනුව නැවේ දුමාරය පිටවීමට පටන්ගත් අවස්ථාවේදී නාවික හමුදා සහ වරාය අධිකාරියේ නිලධාරීහූ නැවට ගොඩවී පැය එකහමාරක කාලයක්   එහි සිටි බවත් දුමාරය පිළිබඳ පරීක්‍ෂා කළ ඔවුන් ඒ බව ‘හාබමාස්ටර්වරයාට’ ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගිය බවත්ය.

යලිදු වරක් එදින රාත‍්‍රීයේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබදව තව සේවාදායකයා හා ඔහු යටතේ සිටි නිලධාරීන් ‘හාබමාස්ටර්වරයාට’ ඇතුළු සියලූ පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත් ඒ අනුව ‘හාබමාස්ටර්වරයා’ විසින් නැවේ ගින්න නිවාදැමීම සඳහා  ටග් යාත්‍රා  කීපයක් එවනු ලැබූවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සසේ ගිනිගෙන මුහුදු බත්වූ බවය.

තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසිඳු  අවස්ථාවක නැවෙන් කිසිඳු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයි ද නැවේ හටගත් ගින්න නිවාදැමීමට උත්සහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියාව  තිබුණේ යැයි ද ඔහු කියා සිටියේය.

එසේම අන්තර්ජාතික සයුරු පිළිබඳ නීතිය අනුව සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැතැයි ද ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාව ඇතැයි ද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම ස`දහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස රඳවා නොගතයුතු බවද පෙන්වා දුන්නේය.

මහධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම පිලිගනිමින් සැකකාර කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ අතර අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

මේ අතර ඊයේ දින අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ  සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු කීහ.

මේ වන විටත් සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑමක් ලෙස මැයි මස 23 වැනි දින සිට ජුනි මස 03 වන දින දක්වා දින දහයක කාලය තුළ රජයේ ආයතනවලට වැය වු වියදම් හා රටට වු හානිය පිළිබඳව ඇමරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් ඉල්ලා ඇති බවත්, මේ වනවිට ලන්ඩන් නගරයේ පිහිටි නෞකා අයිතිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා පවසයි..

-ශානි-

Social Sharing
නවතම