තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි.

මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් සමූහයක් ඉදිරිපත් වී සිටියදී එමගින් කම්කරු පිරිස් අනාරක්ෂිත භාවයට පත්ව ඇති අයුරු වෘත්තීය සමිති එකතුව පෙන්වා දී තිබේ.

භූමිතෙල් මිල ද රුපියල් හතකින්  ඉහළ දැමීම තුළ භූමිතෙල් භාවිතයේ යෙදෙන වතු සහ ධීවර ජනතාව දැඩි පීඩාවකට පත්වන බව වැඩ කරන ජන බලය රජයට අවධාරණය කරයි.

වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන්නේ සමස්ත වැඩකරන පන්තියෙන් බහුතරයක් තම  ප‍්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන බවයි.

පෙට‍්‍රල්  ලීටරයක මිල රුපියල් විස්සකින්  වැඩි කිරීම තුළ එය වැඩකරන පන්තියේ බහුතරයකට ඍජුවම බලපාන අතර, සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන බර කිහිප ගුණයකින් ඉහළ යාම මෙම ඉන්ධන මිල ඉහළ යාම තුළ වැලැක්විය නොහැකි බව වැඩ කරන ජන බලය තව දුරටත් පෙන්වා දෙයි.

කොවිඩ් 19 වසංගතය තුළ පීඩාවට පත් තම රටවල ජනතාවට අනෙකුත් සෑම රටකම ආණ්ඩු විසින් විවිධ සහන සලසමින් තිබියදී ලංකාවේ වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් ජනතාවට පීඩනයට පත් කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ ජීවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට “වගේ වගක්” නොමැති වීම බවයි වැඩ කරන ජන බලය පවසන්නේ.

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව නැගෙන හඬ යටපත් කිරීමට ජනතාව නොමග යවන සුළු  ආණ්ඩුවේ උත්සාහයන්ද වෘත්තිය සමිති නායකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

2020 වසරේ ලොව පුරා කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපොළේ තෙල්මිල සෘණ   අගයක් ගත් අතර, එම අවස්ථාවේදී තෙල් මිල තඹ සතයකින්වත් අඩු කිරීමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති තත්වය තුළ  මැති ඇමතිවරුන්ට සැප වාහන ආනයනය, කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි හදිසියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරමින් සිටින බවටත් වෘත්තිය සමිති නායකයන් චෝදනා කරති.

තෙල්මිල වැඩි කිරීම හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයන් විසින්ම සිදු කරන මෙවැනි ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතවම සිදුකර ජනතාව රැවටීමට ද සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයැයි වැඩ කරන ජන බලය වෙනුවෙන් ජොස්ප් ස්ටාලින්, රවී කුමුදේශ්, ජගත් ගුරුසිංහ හා චින්තක බණ්ඩාර යන වෘත්තිය සමිති නායකයන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම