කොළඹ ළමා රෝහලේ බාල කෑම  – සමස්ත ලංකා සුව සේවා සංගමය

දරුවන් සම්බන්ධ ප්‍රතිකාර කෙරෙන මෙරට ප්‍රධානතම රෝහල ලෙස සැලකෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහල. සාමාන්‍ය වහරින් පැවසුවහොත් කොළඹ නෝනා වාට්ටුවය. දිනකට රෝගී දරුවන් රැසක් මෙහි ප්‍රතිකාර සඳහා පැමිණේ. එමෙන්ම නේවාසිකවද දරුවන් රැසක් ප්‍රතිකාර ලබති.

රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට සාමාන්‍යයෙන් දෛනිකව ප්‍රධාන ආහාර වේල් තුනම ලබා දෙති. නමුත් මෑතක සිට මේ ළමා රෝහලේ ලබා දෙන කෑම ප්‍රමිතියකින් තොර බව රෝහල් කාර්ය මණ්ඩලය අවබෝධ කර ගත් කරුණකි.

ටෙන්ඩර්යක් මඟින් රෝහලට ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා අතර එමඟින් ලැබෙන මිරිස් කුඩු ඉතාම බාල තත්ත්වයේ ඒවා බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.

මිරිස් කුඩු වල ප්‍රමිතිය බාල කර වෙනත් ද්‍රව්‍යයක් ඊට කලවම් කරන බවට ඔවුන් තුල මාස ගණනක සිට සැකයක් මතු වී ඇත. එමෙන්ම කඩල වැනි ආහාරද ඉතාම බාල තත්ත්වයේ ආහාරයට ගත නොහැකි ඒවා බව පවසන සමස්ත ලංකා සුවසේවා සංගමයේ භාණ්ඩාගාරික රුවන් එස්. හෙට්ටි ආරච්චි මහතා පෙන්වා දෙන්නේ මේ ආහාර වල ගුණාත්මක භාවයෙන් තොර වීම පිලිබඳ රෝහල් මුලුතැන්ගෙයි කාර්ය මණ්ඩලයද පිළිගන්නා බවය.

ඔවුන් ඒ පිලිබඳ රෝහල් පරිපාලනයට කිහිප වතාවක් දැනුම් දී ඇතත් විසඳුමක් ලැබී නොමැත. එමෙන්ම සමස්ත ලංකා සුව සේවා සංගමය විසින් රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් කිහිප අවස්ථාවක්ම මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කර සිටියි.

රෝහල් සේවකයින්ගෙන් දිගින් දිගටම ආහාර සම්බන්ධයෙන් විරෝධතා මතුවීම නිසා ඊයේ (04) දින රෝහල් පරිපාලනය හා රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් රෝහල් මුලුතැන්ගෙට ගොස් මිරිස් කුඩු පරික්ෂාවට ලක් කිරීමට සාම්පල ලබා ගෙන ඇත.

එසේම ඊයේ දිනයේ එම මිරිස් කුඩු ඉවත් කර අලුතෙන් මිරිස් කුඩු ගෙන්වා ආහාර වලට දැමීමට කටයුතු කළ බවද රුවන් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

දිගින් දිගටම මෙලෙස බාල කෑම රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට ලබා දීමට කටයුතු කළහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹීමට සිදුවන බව ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

-ශානි-

Social Sharing
නවතම