වසංගත පාලනය හා මහජන මූල්‍යාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 286 ක් වැය කර තිබෙනවා.

කොවිඩ් 19 රෝග පාලනය, ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක්  රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය ආරම්භක පළමු අදියරේදී  පවුලකට රුපියල් පන්දහසේ මූල්‍යාධාර  ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක් ද සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක මුදලක් වැය කර ඇතැයි ද ඒ මහතා කීවේය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය  පිළිබදව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (05) පැවැති  විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

රුපියල් පන්දහස බැගින් පවුල් ලක්ෂ 40කට මූල්‍යාධාර ලබාදීමේදී චෝදනා අපවාද එල්ලවීම සිදුවන නමුත් මූල්‍යාධාර ලබාදීම උපරිම සාධාරණත්වයෙන් යුක්තව ඉටු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රිකයට ලබා දුන් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 11වන දින මෙරටට හිමිවන බවත් එම එන්නත් 15වන දින සිට ජනතාවට ලබාදිය හැකි යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

ලෝකයේ කිසිඳු රටක් නිශ්චිත රාමුවක් තුළ සිට මෙම වසංගත තත්ත්වය පාලනය කර නැතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා රෝග මර්ධනය හා පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම වෙනුවෙන් රජය බැඳී සිටින බව ද කීවේය.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම මධ්‍යස්ථාන හාරදහසක ක්‍රියාත්මක වූ නමුත් එහිදී  මතුවූ ගැටළු අවම කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව ද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු.ගමගේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, තිලක් ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, මධ්‍යම පළාත් වසංගත වේදඥ විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම