එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය

නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර‍යේ සභාපති,  හිටපු කතානායක  කරු ජයසූරිය පවසයි.

හුදු විවේචන හා දෝෂාරෝපණයන් සිදු කිරීම තම සංවිධානයේ අරමුණ නොවන බවත්  පවතින යතාර්ථය තේරුම් ගනිමින් එය පෙන්වා දීම තමන් සතු යුතුකමක් හා වගකීමක් ලෙස සලකන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (03) දින පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කර සිටියේය.

රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම බියකරු තත්ත්වය ගැන අපිව දැණුවත් කර තිබෙනවා. ඒ නිසා රටක් වශයෙන් අප ගත කරන්නේ ඉතාමත්ම වගකීමකින් හා කාර්‍යක්ෂමව කටයුතු කළ යුතුව ඇති කාල වකවානුවකයි.  නමුත් එවැනි පරිසරයක් රටේ දකින්නට තිබෙනවාද එම වසංගතයේ ඇති බිහිසුණු බව හා ඒ මඟින් ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් තිබියදීත් රටක් ලෙස අප වගකීමකින් යුතුව කටයුතු කර තිබෙනවාද?

අද වනවිට අප මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්වයට ගොදුරු නොවී මෙම වසංගතය මෙයට වඩා සාර්ථකව මර්ධනය කිරීමට අපට ඉඩකඩ නොතිබුණාද?  ඇත්ත වශයෙන්ම ඒ ගැන අප අපගෙන්ම විමසිය යුතුව ඇතත්, රටක් ලෙස අප කර ඇති පසුගිය වැරදි පමණක් කතා කිරීමෙන් මෙම අනතුර ජයගැනීමට නොහැකි වුවත්, ඒවා තේරුම් නොගෙන ඒ වාගේම ඒවායින් පාඩම් ඉගෙන නොගෙන අපට යතාර්ථයට මුහුණ දිය නොහැකියි. ඒ නිසා මෙම සිදු වෙමින් තිබෙන විනාශය දැන්වත් තේරුම් ගනිමින් හෙට දවස හෝ මීට වඩා යහපත් කිරීම සඳහා  අප සියළු දෙනාම පෙරට ආ යුතුයි.

අපට උපදෙස් ලබා දෙමින් දිරිමත් කරන දේශීය හා විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ මතය වූයේ රට අවම වශයෙන් දෙසතියකට හෝ අනිවාර්යෙන් වැසිය යුතු බවයි. අප දන්නා පරිදි රජයට ද එම උපදෙස් ලබා දී තිබුණා. නමුත්, එම අවස්ථාවේදී බලධාරීන් එම වටිනා උපදෙස් පිළි ගත්තේ නැහැ. නමුත් දැන් ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන් එක මතයකට පැමිණීම ඉතාමත්ම වැදගත් ප්‍රවණතාවයක් ලෙස අපි දකිනවා.  අනාගතයේදී විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි බව අපේ විශ්වාසයයි.

පසුගිය අප්‍රේල් මාසයේදී අපගේ බුද්ධි මණ්ඩලය විසින් වැදගත් කරුණු කිහිපයක් බලධාරීන්ට යෝජනා කළා. පළමුව වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණයක් පැවැත්වීම. ලෝකයේ සමහර රටවල් බුද්ධිමත්ව දීර්ඝකාලීන වැඩසටහනක් සහිතව ක්‍රියා කළ ආකාරයට අවුරුදු 10 ට වැඩි සෑම ශ්‍රී ලංකික පුද්ගලයෙක්ටම දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් ලබාදීම. මේ සඳහා අවශ්‍ය වන්නේ එන්නත් මිලියන 30 කි. (මිලියන 15×2) අපි දැනටමත් චීනයෙන් එන්නත් මිලියන 15 ක් සහ රුසියාවෙන් මිලියන 15 ක් ලබා ගැනීමට ඇණවුම්  ලබාදී තිබෙනවා. ඊට අමතරව COVAX GLOBAL ව්‍යාපෘතිය තුළ තවත් එන්නත් මිලියන 1.2 ක් ලැබීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පූර්ණ මුදල ශ්‍රී ලංකා රජය සතුව තිබෙනවා.

පෙරේදා රාත්‍රී වන විට රටට ලැබුණු එන්නත් ප්‍රමාණය වනුයේ

  1. ඇස්ට්‍රා සෙනිකා –  එන්නත් මිලියන 1.2650
  2. ස්පූටිනික් V  – එන්නත් 50000
  3. සයියනාෆාම් – එන්නත්  739399

ඉදිරි දින කිහිපය තුළ සයිනොෆාම් හා ස්පූටිනික්  එන්නත් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත හෙයින් රජයේ එන්නත් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැක. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම්  වලින් තොරව විද්‍යානුකූලව සිදුකළ යුතුය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මතය වන්නේ දිනකට එන්නත් 100,000 ක් පමණ ලබාදීමට හැකි ශක්තිය සහ හැකියාව ඔවුන් සතුව ඇති බවයි. එහෙයින් විශ්වාසයෙන් යුතුව දීර්ඝකාලීන සැලැස්මක් ඇතිව ක්‍රියා කළ හැකිනම් 2021 දෙසැම්බර් 31 වන විට සෑම දෙනෙකුටම එන්නත් ලබාදීම පහසුවෙන් නිම කළ හැකි බව විද්වත් මතයයි. විද්වතුන් හා බලධාරීන් එක්ව ලොක්ඩවුන් කාලය ජුනි 14 දා දක්වා දීර්ඝ කළ බවට වාර්තා වුණා. දේශපාලන තීරණ වෙනුවට සියලුම පාර්ශව එකතුව මෙවැනි තීරණයක් ගැනීම යෝග්‍යයි. නමුත් මේ තීරණ සඳහා තවමත් සතියක් පමණ පැරණි දත්ත උපයෝගී කර ගැනීම ඵල රහිත බව අපගේ හැඟීමයි.

එමෙන්ම නුවර ප්‍රදේශයේ දී “ස්පුට්නික්” එන්නත පාවිච්චිය පිළිබඳ මත දෙකක් ප්‍රකාශ වී තිබේ. රජය තුළින්ම පරස්පර මත ප්‍රකාශ වීම මහජනයා නොමඟ යැවීමටත්, රජයේ ආධිපත්‍යය ටත් හානිකර වේ. මෙය වහාම නිවැරදි කළ යුතුයි. ඉන්පසු අප විද්වත් මතය වනුයේ අප කලින් යෝජනා කළ පරිදි අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුම දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් කරණයට ලක් කිරීමය. බුද්ධිමත් රාජ්‍යයන් හා රාජ්‍ය නායකයන් සිය රටවල් යථා තත්ත්වයට පත් කර ගත්තේ මේ ආකාරයෙනි.

 

 -ශානි-

Social Sharing
නවතම