යාපනේ පුස්තකාලය ගිනිතැබීම සිහිපත් කිරීමත් නවතයි!

දකුණු ආසියාකරයේ විශිෂ්ටතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් දශක හතරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබු  පුෂ්පදීපානුස්මරණය පොලිසිය විසින් කරන ලද බිය ගැන්වීමක් නිසා අතහැරදමන්නට සිදුවී තිබේ.

ඒ සැමරුම් උත්සවයක් පැවැත්වුවහොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට යාපනය පොලිස් ස්ථානාධිපතිවරයා  විසින් දුරකථනය මගින් දැනුම් දීමෙන් අනතුරුවය.

පොලිස් ස්ථානාධිපතිගේ හේතු දැක්වීම වී ඇත්තේ මාරාන්තික කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය  හමුවේ රට පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතක පුද්ගල ඒකරාශිවීම් තහනම් වීමයි.

පොලීසිය විසින් කළ අනතුරු ඇඟවීමෙන් පසු සැමරුම් උත්සවය අත්හිටුවීමට යාපනය මහ නගර සභාව පියවර ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ආණ්ඩුවේ ආධාරකරුවන් සමග හමුදා භට පිරිස් යාපනය පුස්තකාලය ගිනිතබා හතලිස් වසරක් ගතවන දිනයේ පුස්තකාලය අසල පොලිස් මුරකාවල් යොදා තිබෙන ආකාරය උතුරේ මාධ්‍යවේදීන් කැමරා කාචයට හසු කරගෙන තිබුනි.

1981 මැයි 31 වැනිදා රෑ යාමයේ ගිනි බත් කරන ලද යාපනය පුස්තකාලය වෙනුවෙන් අලුතින් ඉදිරකරන ලද පුස්තකාලය විවෘත වුයේ 2003 වසරේදීය.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් මුල් පුස්තකාලයට මුලපිරා තිබුනේ කේ.එම් චෙල්ලප්පාය.

දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින්  ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සිංගරායර් ඩේවිඩ් පියතුමා තම ජීවිතයට සමුදී තිබුනි.

සිරිල් සහ ගාමිණී

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ වත්මන් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසයි.

රනිල්ගේ සමාව

මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද  යාපනය පුස්තකාලය  එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගිනි තැබීම සම්බන්ධයෙන්   2018 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.

“අපේ කාලේ පුස්තකාලේ ගිනිතිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා. සමාව ඉල්ලා සිටිනවා,” යි අගමැති වරයා දෙසැම්බර් 6 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වසරේ  අයවැය විවාදයට සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන්ද සමාව ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ එදින  අභියෝගයක්ද කළේය.

යුද සමයේ පල්ලි සහ කෝවිල් විනාශ කර දමන ලද බව රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුව හමුවේ එදින  වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.

Social Sharing
නවතම