කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව පමණයි!

කොරෝනා එන්නත් ලැබෙන්නේ රාජතාන්ත්‍රික සාකච්ඡා අනුව මිස පෞද්ගලික මිලදී ගැනීමේ මට්ටමින් නොවන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුවන්නේ ජාත්‍යන්තරය තුළ පවතින අධික ඉල්ලුම නිසා මිස මුදල් හිඟතාවයක් නොමැති නිසා යැයි ද අමාත්‍යවරයා කීවේය.

මහනුවර මහයියාවේ සිදුවන එන්නත්කරණ කටයුතු නීරීක්ෂණය සඳහා සහභාගි වූ අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

අධික ඉල්ලුම හේතුවෙන් එන්නත් හිඟයක් මතු වී ඇති නමුත් කොරෝනා පාලන එන්නත්කරණ ජාතික කමිටුවේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරියේදී මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය හිමිවන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

එන්නත් මිලදී ගැනීම සඳහා ඩයස්පෝරාවේ මුදල් ලබා දීමට සූදානම් යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් යැයි ද අමාත්‍යවයා සඳහන් කළේය.

දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කවුරු කුමක් ප්‍රකාශ කළත් ලෝක වෙළද පොලේ පුද්ගලික මට්මටින් එන්නත් ලබා ගැනීමට නොහැකි යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම