ඔක්කෝම වුණාට පස්සේ දැන් සුදු ළුණු පොඩි කරන්න එපා! – කාදිනල් කියයි.

රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යන බවත් වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසයි.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමේ සිද්ධියෙන් මෙරට ධීවර ජනතාවට විශාල හානියක් සිදුව ඇතැයිද නැව ගිනි අරගෙන ඔක්කෝම වුනාට පසුව ගැඹුරු මුහුදට යන බව පවසා දැන් සුදු ළුණු පොඩි කරන්න එනබවද උන් වහන්සේ පවසයි.

ජනතාවගේ ජීවිත සමඟ මෙලෙස සෙල්ලම් කිරීමට තවදුරටත් ඉඩදිය යුතු නැති බවත් එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමේ සිද්ධියත් සමඟ ධීවර ජනතාවට සිදුව තිබෙන හානිය වෙනුවෙන් එම සමාගමට එරෙහිව නඩු මාර්ගයට යොමුවීමට ධීවර සංගම් ලෙස මැදිහත්වන ලෙසත් ඉදිරියේදී තමන් එයට නායකත්වය දෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කළේය.

රට ආරක්ෂා කරන බවට කියමින් රට භාරගත් අයම දැන් රට විනාශයට ඇදදමමින් සිටින අතර එය වේදනාකාරී අත්දැකීමක් බවත් සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් ඇති බවත් මේ වන විට ආණ්ඩුව රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දමමින් පසුවන අතර එය රටේ ගරුත්වයට හානියක් බවද උන්වහන්සේ පෙන්වාදුන්හ.

එදා MCC ගිවිසුමට විරුද්ධ වූ මේ රජයේ සිටින දේශපාලකයෝම දැන් ඊටත් වඩා වැඩියෙන් දරුණු ලෙස කටයුතු කරමින් හිඳින බව පෙනෙන්නට ඇති බවද ‘යහපාලනය’ , ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව ද පෙන්වා දෙයි.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී  ඊයේ  (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

-ශානි-

Social Sharing
නවතම