ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් සහ සීමාසහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියළුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත.

ජුනි 07 දා අවසන් වීමට තිබු සංචරණ සීමා ජුනි 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණේද ඊයේ දිනය. මේ පහුගිය දින කිහිපය පුරාවමටම සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් විවිධ ඉල්ලීම් ගණනාවක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණි. ඒ ඉල්ලීම් වලට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියා මාර්ග වෙත පිවිසෙන බව එකී සමිති විසින් අනතුරු හඟවා තිබුණි.

විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් රජයේ සේවයේ නියුතු ගර්භණි මව්වරුන් සේවයට කැඳවීමෙන් වළකින ලෙස නිකුත් කර තිබු චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල නොවීම සම්බන්ධව දිගින් දිගටම හඬ නගන ලදී.  නමුත් තවමත් විසඳුම් නොමැත.

එමෙන්ම ආරක්ෂිත පහසුකම් ඉල්ලීමද මේ ඉල්ලීම් අතර විය. නමුත් අද වන විට සෞඛ්‍ය සේවකයින්ට දිනෙන් දිනම ආරක්ෂිත උපකරණ හිඟ වන ත්ත්වයකට පත්ව ඇත.

එසේම රෝහල් වල ධාරිතාව ඉක්මවා රෝගීන් ප්‍රතිකාර ලැබීම තුල ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක් නොසිටීමද මේ වන විට ගැටලුවකි.

මේවාට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව තහකහනියේම මේ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කටයුතු කර ඇත්තේ සියලු සේවක සේවිකාවන් අධෛර්යමත් කරමිනි.

-ශානි-

Social Sharing
නවතම