මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු

ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් වැරදි ඉදිරිපත් කිරීමක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

මෙවර මහා මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පක්ෂය කිසිදු ජයග්‍රහණයක් නොලබන බව මහනුවර දී පැවති පාක්ෂික හමුවක් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා පැවසීය.

පසුගිය ජනපතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශ වලින් ඡන්ද ලක්ෂ 22 කට වැඩි පරාජයක් අත්වූ බවද ඒ මහතා පැවසුවේය.

සෝඩා බෝතලය කැඩූ ගමන් එහි පෙණ මුදුනට පැමිණෙන නමුත් ටික වේලාවකින් ගෑස් බැස යන බවත් සමඟි ජනබලවේග පක්ෂය සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේද එම කාරණය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයෙන් පසු සජිත් අවලංගු කාසියක් බවට පත්වන බවද ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි සතිය තුළ රහස්  උපක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් ඉන් පසු කාට කාටත් සිදුවන දේ බලාගත හැකි බවත් මහචාර්යවරයා පැවසුවේය.

මහ ගෙදර ඇතුළේ සිට එහි බලය අල්ලා ගැනීමට නොහැකි අය අද ගෙදර අතහැර ගොස් පිටත සිට බලය අල්ලා ගන්නා බවට වහසි බස් දොඩන බවත් එක්සත් ජාතික පාක්ෂිකයින් අති බහුතරය තාමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය වටා ගොනුවී සිටින බවත් ඒ මහතා කීය.

ප්‍රබලයෝ යැයි කියා ගන්නා අයගේ කල්ක්‍රියාව දැන් රටටම පැහැදිලි බවත් කාදිනල් තුමාට අපහාස කිරීමේ සිද්ධිය ඊට එක් උදාහරණයක් පමණක් බවත් හෙතම අවධාරණය කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම