පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරිය විසින් සියලුම පළාත් පාළන ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එම ලිපියෙහි සදහන් වන්නේ හිටපු ජනාධිපතිවරයා මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයෙකු බැවින් පක්ෂ නියෝජිතයන් හා බලයලත් නියෝජිතයන් වෙතින් ලැබුණු පැමිණිලි අනුව හිටපු ජනාධිපතිවරයාගේ රුව හා නම සහිත සමරු පලක හා පුවරුවල ඒ මහතාගේ නම හා රුව වසා තබන්නැයි ද නියෝග කර තිබේ.

පොලොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවිය විසින් ඉකුත් 24 දාතම ලිපියකින් මේ බව පළාත් පාළන ආයතන වෙත දැනුම් දී තිබේ. මෙම සමරු පලක හා රුව සහිත පුවරු අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන් දායක වන්නේ යැයි ද සාධාරණ හා නිදහස් මැතිවරණයක් වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එහි සදහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබදව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාළන ආයතනවල සභාපතිවරුන් කිහිප දෙනෙකුම දැනුම් දී තිබෙන්නේ තම බල ප්‍රදේශය තුළ එවැනි සමරු අළක හා පුවරු විශාල ප්‍රමාණයක් තිබෙන බැවින් ද ඇතැම් බල ප්‍රදේශයක එවැනි විවෘත කිරීම් 3000 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බැවින් ද ඒවා වසා දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අසීරු බැවින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් වසා දැමීමට කටයුතු කළ හැකි බව ද දන්වා යැවූ බවයි. කෙසේ වෙතත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුපියල් කෝටි 6000 කට වැඩි වියදමකින් පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය හරහා  සංවර්ධන කාර්යයන් විශාල ප්‍රමාණයක් සිදු කර ඇත.

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම