ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!

ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

කොවිඩ් වසංගතයේ පහුගිය සමස්ත ක්‍රියාදාමය පිලිබඳවම ඉතා හොඳ සමාලෝචනයක් කිරීමට ජනාධිපතිවරයා නිහතමානී විය යුතු බවත් එහිදී ඇති වී ඇති ව්‍යාකූලත්වය, අපේක්ෂා භංගත්වය ඇති වීමට හේතු දුන් සාධක  සෙවිය යුතු බව ඒ මහතා කියා සිටියි.

එහිදී මඟ හැරුණු තැන්, අඩුපාඩු තැන්, දුර්වලතා තේරුම් ගත හැකි බවත් ඒ අනුව ඉදිරියට හොඳ තීන්දු තීරණ ගැනීමට හැකි වෙන බවද ඔහු කියා සිටියි.

එසේ නොමැතිව ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් අපි තමයි හොඳටම කළේ කියා සිතන මානසිකත්වයෙන් සිටිනවා නම් මෙය තවත් ප්‍රචලිත වෙනවා මිස මෙහි හොඳ ප්‍රතිඵලයක් අත්පත් නොවන බවද හෙතෙම කියා සිටියි.

ඒ නිසා හොඳ පසු විපරමක් සිදු කර ස්ථාවර, දැඩි තීන්දු තීරණ ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. නැතිනම් මේ පනවා ඇති දැඩි සංචරණ සීමා වලින්ද පලක් නොවන බව ඔහු කියා සිටියි.

එමෙන්ම දත්ත, තොරතුරු පිලිබඳ අද සමාජයේ විශ්වාසනීයත්වය බිඳ වැටී ඇති බවත් ඒ නිසා ඒ පිලිබඳ  විශ්වාසනීයත්වය යළි ගොඩනැගිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

අනුර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ  (26) ජවිපෙ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

-ශානි-

Social Sharing
නවතම