හෙද සටන උග්‍ර වෙයි!

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු ගණනාවක්ම සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දෙමින් ලිපි යවා ඇතත් තවමත් ඔවුන්ට නිසි විසඳුමක් ලබා දී නොමැත.

එවන් පසුබිමක මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දෛනික රාජකාරි සිදු කරනුයේ ඉමහත් අසහනයකිනි, පීඩාවකිනි. ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කළත් ඔවුන්ට ඇවැසි  ප්‍රතිකාර ලබා දීමට මේ රජය අපොහොසත් වී ඇත.

මෙය තවදුරටත් ඉවසීමට හෙද සංගම් සුදානම් නැත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පහුගිය 25 දා සිට PCR හා රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණ (RAT) පරීක්ෂණ වලට නිදර්ශක ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් විය.

ඒ හෙද සේවාවේ කොවිඩ් 19 මර්ධනයට අදාල N-95 මුව වැසුම් සහ අනිකුත් පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම,  විශේෂ නිවාඩු ලබාදෙන චක්‍රලේඛය නිකුත් නොකිරීම, සේවාවට පැමිණෙන හෙද නිලධාරින්ට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම,  රජය විසින් ප්‍රකාශයට පත් කරන නිවාඩු දින සඳහා නිවාඩු දින දීමනා නොගෙවීම,  ගර්භනී හෙද නිලධාරිනියන්හට විශේෂ පහසුකම් ලබාදිය යුතු චක්‍රලේඛය නිකුත් නොකිරීම, කොවිඩ් 19 මර්ධන ක්‍රියාවලියට අදාල පහසුකම් ලබාගැනීම සහ එයින් ආරක්ෂාවීම සඳහා පෞද්ගලිකව දරාගැනීමට සිදුවී ඇති වියදම් පියවාගැනීම සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබානොදීම, හෙද කාර්යය මණ්ඩලයේ 4000 ක් පමණ වන ප්‍රමාණයකට සහ පවුල්වල අයට එන්නත් ලබානොදීම, නිලධාරින්ට වෙරසය ආසාදනය වූ විට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම  යන ගැටලු මුල් කර ගනිමිනි.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමයද වෘත්තීය ක්‍රියා මාර්ගයකට සුදානම් වෙමින් සිටියි. ඒ 05-31 වෙනිදා රට පුරා සියලුම රෝහල් වල හෙද හෙදියන් එක්දින අසනීප නිවාඩු වාර්තා කීරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකටය. එහිදී රෝහල් වල බිඳ වැනෙ සියලුම සේවාවන්ට, අපහසුතාවයන්ට පත්වන රෝගීන්ගේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය භාර ගත යුතු බව සමස්ත ලංකා හෙද සංගමය විසින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිපියක් යවමින් දන්වා ඇත.

මෙම සංගමයේ ඉල්ලීම් වන්නේ රෝහල් කොරෝනා තවාන් බවට පත් නොකොට අවශ්‍ය සියලුම උපකරණ හා පහසුකම් සපයා දී කාර්ය මණ්ඩලයේත්, රෝගීන්ගෙත් ආරක්ෂාව තහවුරු කිරීම, සාධාරණ අතුරු දීමනාවක් ගෙවීම, ගර්භනී හෙද නිලධාරින්යන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම, බඳවා ගැනීමට නියමිත හෙද උපාධිධාරීන් අතරින් මුලික සුදුසුකම් නැති අය ඉන් ඉවත් කිරීම, මේ අවස්ථාවේ හෝ ප්‍රවාහන පහසුකම් සපයා දීම ආදි ඉල්ලීම් කිහිපයකි.

මේ වන විට මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එක් වන ලෙස සෙසු හෙද සංගම් වලටද සමස්ත ලංකා හෙද සංගමය විසින් දන්වා ඇත.

-ශානි-

Social Sharing
නවතම