කොවිඩ් තොරතුරු මාධ්‍යට කී වෛද්‍ය චමල් සංජීවගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු විමසයි!

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව  සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් යවා තිබුණේ පහුගිය දිනයේය.

එහි කියා තිබුණේ  විවිධ දත්ත තොරතුරු ලබා දීම, සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරිම තුලින් ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයිමට බාධාවක් වී ඇති බවත් එය මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමක් බවය.

ඒ නිසා එවැනි කටයුතු මින් ඉදිරියට නොකරන ලෙසත් ඒවා නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයින්ට එරෙහිව විනයානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ චක්‍රලේඛයෙන් සිදු කරන්නේ සෞඛ්‍ය සේවකයින්ට මුඛ වාඩම් දැමීමක් බව රජයේ වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර තිබුණි. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෞඛ්‍ය සේවකයින්ට 75% ක්ම මාධ්‍යට කියන්න සිදුව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බවය.

මේ අතර කොවිඩ් වංසගතය සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු කී බවට හම්බන්තොට කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, වෛද්‍ය චමල් සංජීව මහතාව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පියවරගෙන ඇතැයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ කියා සිටියි.

වෛද්‍ය චමල් සංජීව යනු වෛද්‍යවරයෙක්ම පමණක් නොව මාධ්‍යවේදියෙකු ද විය. ඔහු වෛද්‍ය ක්ෂේත්‍රයට අත්පත් තැබීමට පෙර සිටම විදුසර ලේඛයෙකු විය. ඔහු වෛද්‍යරයෙකු වූ පසුවද පුවත්පත් වලට ලිපි ලිවීම දිගින් දිගටම සිදු කළ අතර මාධ්‍ය ක්ෂේත්‍රය සමග කිට්ටු සබඳතාවයක් පැවති අයෙකි.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ කියා සිටින්නේ ප්‍රගතිශිලි වෛද්‍යවරයෙකුට සිදු වූ මෙම අසාධාරණයට සියලු වෘත්තිය සංගම් සංවේදී ප්‍රතිචාර දක්වන බවය.

-ශානි-

Social Sharing
නවතම